Eyeview Sri Lanka

කලා ලොව විචිත්‍ර කළ කලා පොළ, 390කට වැඩි කලා ශිල්පීන් සමඟින් 32වන වරටත්

Share with your friend

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, 2025, පෙබරවාරි 16 දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්විණි. 32වන වරටත් පැවති කලා පොළ, කලා ලෝලීන්, කලා ප්‍රවීණයන් හා සිසුන් සුවිශාල ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

1993 වසරේ දී, ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළට, 1994 වසරේ සිට අද දක්වා එහි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ අනුග්‍රහය ලබා දෙයි.

කලා පොළ, සෑම ක්ෂේත්‍රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු විවිධ අංශයන්ට අයත් කලා ශිල්පීන්හට, කලා ප්‍රජාවන් සහ නිර්මාණ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට පුළුල් වේදිකාවක් සපයයි. මෙරට නිර්මාණාත්මක ආර්ථිකය සහ සමාජ සහජීවනය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා වෙළඳපොළක් මෙන්ම එකිනෙකාගේ දැනුම හා අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලබා දෙයි.

දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි 390කට වැඩි දේශීය කලාකරුවන් ප්‍රමාණයකින් මෙවර කලා පොළ වර්ණවත් විය.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ඇන්ඩෲ පැට්‍රික් මහතා, කලා පොළ, 2025  නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, කලාකරුවන් හා අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ කලා කුටි නැරඹීම ද සිදු කළේය. Children’s Art Corner, තරුණ කලාකරුවගේ වැඩමුළුවක්, සජීවී සිතුවම් සැසියක්, කලා කථිකාවතක් සහ විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංගයකින් ද කලා පොළ විචිත්‍රවත් විය.

මාධ්‍ය වෙත: අනෙක් ප්‍රධාන තොරතුරු

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හා ජෝන් කීල්ස් පදනම පිළිබඳව

සමාජ සෞඛ්‍යය හා සහජීවනය යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධාන අංශයක් වන අතර කලාව සහ සංස්කෘතිය ඒ යටතට අයත් වේ. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150කට වැඩි ඉතිහාසයක් පවතින JKH ආයතනය සේවක සේවිකාවන් 15,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිද සමාජභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

ජෝර්ජ් කීට් පදනම පිළිබඳව

1980 වසරවල සිට ජෝර්ජ් කීට් පදනම කලාව හා සංස්කෘතියේ ප්‍රවර්ධනය හා සුභසිද්ධිය උදෙසා ප්‍රදර්ශන හා ඉදිරිපත් කිරීම් සංවිධානය කරමින්, නැගී එන කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ වෙත පුළුල් ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩ නැගීම සඳහා සුවිශාල මෙහෙවරක් සිදු කරයි.  1991 වසරේ සිට වසර ගණනාවක් පුරා පදනම විසින් වයස අවුරුදු හතළිහට අඩු කලාකරුවන් සඳහා Young Contemporaries වැනි බොහෝ මුලපිරීම් දියත් කර ඇත. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලාංකේය චිත්‍ර ලෙස දැන් නම් කර ඇති මූර්ති සහ සිතුවම් 1991 සිට වාර්ෂිකව ප්‍රදර්ශනය කරනු ලබයි. එළිමහන් කලා ප්‍රදර්ශනයක් වන කලා පොළ 1993 වස‍රේ දී ආරම්භ කළ අතර, 2001, 2007 වසරවල හැරුණු විට අන් සෑම වසරකම වාර්ෂිකව සිදු කරන ලදී.  1994 දී ආරම්භ කළ නව කලාකරුවෝ යනු දැනට ක්ෂේත්‍රයේ සිටින සහ නැගී එන කලාකරුවන්ගේ නව නැගී එන නිර්මාණ වාර්ෂිකව ඉදිරිපත් කරන ප්‍රදර්ශනයකි. ජෝර්ජ් කීට් පදනම විසින් ශ්‍රී ලාංකික චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශන, කලා ශිල්පීන්ගේ කණ්ඩායම් ප්‍රදර්ශන,මාසික විශේෂාංග චිත්‍ර ප්‍රදර්ශන, ශ්‍රී ලාංකිකයන්ගේ සහ විදේශිකයන්ගේ තනි පුද්ගල ප්‍රදර්ශන සහ SAARC චිත්‍ර ශිල්පීන්ගේ ප්‍රදර්ශන වශයෙන් ප්‍රදර්ශන සිය ගනණක් සංවිධානය කර ඇත.


Share with your friend
Exit mobile version