කාන්තාව වෙනුවෙන් සමථ මණ්ඩලය

Share with your friend

යම් ප්‍රජාවක් තුළ ජීවත්වන පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවන සුළු ආරවුල් එම ප්‍රජාව තුළම ජීවත්වෙන උගත්, බුද්ධිමත්, අපක්ෂපාතී, මධ්‍යස්ථ පිරිසකගෙන් සමන්විත තුන්වන පාර්ශ්වයන් මැදිහත්වීමෙන් විසඳීමේ අදහස පෙරදැරි කරගෙන 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ස්ථාපිත කරන ලද්දේ ය. අධිකරණ අමාත්යාංශයේ රතිපත්ති සහ පරිපාලනමය සහයෝගයෙන්, සමථ මණ්ඩලය කොමිෂන් සභාව විසින් සමථකරණ වැඩසටහන මෙහෙයවනු ලබන අතර මහජනතාවගේ ගැටළු විසඳා දීම සඳහා ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය කැපකරන සමථකරුවන්ගෙන් එය වඩාත් ශක්තිමත්වී ඇත.

1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සමථකරණයයන්න නිර්වචනය කරන්නේ මෙසේ ය.

සමථකරණය යනු, නිත්‍යානුකුල මාර්ගවලින් ආරවුල්කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම ද ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්‍රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකම ඒ ආරවුල හෝ වරද නැවත සිදුවීම වැළැක්වීම පිණිස ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමේ ක්‍රියාවලියකි.

සමාජයේ ගැටුම් අවම කිරීම, ගැටුම් බිම් මට්ටමින් විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සහ ජන සමාජය තුළ සාමය හා සහජීවනය පවත්වා ගැනීම සමථ මණ්ඩල පිහිටුවීමේ මූලික අරමුණු වී ඇත. සමථ මණ්ඩල පිහිටුවා තිබෙන්නේ දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමිනි.  මේ අතරෙන් කාන්තාවමුල් කර ගනිමින් සමථ මූල මණ්ඩල තුළින් සිදුවන කාර්යභාරය  ඉතා වැදගත් ය. 

විශේෂයෙන් කාන්තා ඔබ, සමථ මණ්ඩලය ඔබ වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුවත් විය යුතු ම ය.

සෑම කාන්තාවකටම තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අයිතියක් තිබේ. එසේම සමානාත්මතාව, නිදහස පිළිබඳව ද අයිතීන් උරුමව පවතී. පිරිමි පාර්ශවයට මෙන් ම කාන්තා පාර්ශවයට ද ස්වච්ඡන්දතාවක් නිදහසක් පැවතිය යුතු ය. එසේ ම රටක නීතිය යටතේ සමාන ආරක්‍ෂාවක් පැවතිය යුතු ය. සෑම අගතිගාමී ක්‍රියාවකින් , වෙනස් කොට සැලකීමකින් ම නිදහස් වීමට අයිතියක් පැවතිය යුතු ය. වධ හිංසාවලට හෝ වෙනත් අමානුෂික සැලකිල්ලකට, දඬුවමකට ලක් නොවී සිටීමට අයිතිවාසිකමක් පැවතිය යුතු ය. නමුත් වර්තමානය වන විට ලෝකයේ විවිධ සංවර්ධිත රටවලත් විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු කලාපයේ රටවලත් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටළුවක් මෙන් ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ ගැටළුව හා බැඳි මූලික කාරණාවක් වන්නේ බහුතර ලාංකේය කාන්තාවන් අතර, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු කුමක් ? එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ? එහි ප්‍රතිවිපාක කවරේ ද? එය වැළැක්වීමේ ක්‍රමවේද මොනවා ද? නීතිමය ක්‍රියා මාර්ග කවරේ ද? ප්‍රශ්නය යොමු කළ යුතු නිවැරදි ස්ථානය කුමක් ද? යන්න සම්බන්ධයෙන් ඇති අල්ප දැනුමයි. එසේ ම බොහෝ කාන්තාවන් සඳහා පවතින මූලික ගැටළුව නම්, ‘රහස්‍යභාවයපිළිබඳ ගැටළුවයි. නමුත්. කාන්තා ඔබගේ ප්‍රශ්නය කිසිඳු ගැටළුවකින් තොරව පෞද්ගලිකව ම වුව ද සමථ මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි බව ඔබ දැනුවත් දඅතිශය රහස්‍යභාවයෙන් යුතු ව ඔබගේ ප්‍රශ්නය සමථකරණය මෙහි දී සිදු වේ. 

මෙහි දී සමථ මණ්ඩල ක්‍රමය යටතේ සමාජයේ ඇතිවන විවිධ ආරවුල් හෝ ගැටළු සමථ මූල මණ්ඩලයක් වෙත යොමු කෙරේ. අනතුරුව මූල මණ්ඩලයේ සභාපතිතුමන් විසින් අදාළ ගැටළුව ‍හෝ ආරවුල සාකච්ඡා කිරීම සඳහා එම මූල මණ්ඩලයට අනුයුක්ත කර සිටින සමථකරුවන් අතරින් තිදෙනකුගෙන් යුත් සමථ මණ්ඩලයක් ඔබගේ කැමැත්ත අනුව පත් කෙරේ. එම තිදෙනාගෙන් කෙනෙකු ප්‍රධාන සමථකාරක වන අතර අනෙක් දෙදෙනා එහි සාමාජිකයන් ය. පැමිණිල්ල යොමු කර ඇති පැමිණිලිකරු පළමු පාර්ශවය සේ සැලකෙන අතර අනෙක් පාර්ශවය, දෙවන පාර්ශවය සේ සැලකේ. අදාළ ගැටළුව හෝ ආරවුල සාකච්ඡා වන්නේ මෙම දෙපාර්ශව දෙක අතර හා තුන්වන පාර්ශවය සේ සැලකෙන සමථකාරවරු තිදෙනා අතර වීම සමථකරණයේ විශේෂත්වයකි. මෙහි දී ඔබ කාන්තාවක් නම් ඔබගේ ගැටළුව ඉදිරිපත් කිරීමේ දී යම් අපහසුතාවක් මතු වුවහොත් ඔබට, අවම වශයෙන් එක් කාන්තා සමථකාරවරියක ඉල්ලා සිටිය හැකි ය. එසේ ම ගැටළුව සෘජුව ම එක මොහොතක දී පැවසිය නොහැකි නම් වෙනත් වෙලාවක දී ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතී ම ද සුවිශේෂ ය.

එසේ ම සමථ මණ්ඩල ක්‍රියාවලියේ දී ඔබට මුදල් වැය වන්නේ නෑ. ඔබ පෞද්ගලික ව පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නම් පමණක් රු. 05ක මුදලක් වැය වේ. නමුත් පොලිසිය මාර්ගයෙන් හෝ උසාවිය හරහා ඉදිරිපත් කරයි නම් ඔබට එම මුදලවත් වැය නොවේ. සමථ මණ්ඩල ක්‍රියාවලියේ සුවිශේෂ ම ලක්ෂණයක් වන්නේ ඔබට තමන්ගේ ආරවුල, ගැටළුව තමන්ට ම ප්‍රකාශ කිරීමේ හැකියාවයි. අධිකරණ ක්‍රියාවලියක දී නම් බොහෝවිට අපගේ ගැටළුව ඉදිරිපත් කරන්නේ අපගේ නියෝජිතයෙකි. එසේ ම සමථ මණ්ඩලය වෙත  ඔබගේ හැඟීම්, දුක්ඛ දෝමනස්සයන් ඔබට ම ප්‍රකාශ කළ හැකි ය. එමඟින් ඔබගේ මානසික පීඩනය අවම කර ගත හැකි ය. මන්ද මෙය ඉතාම රහස්‍ය ක්‍රියාවලියකි. මෙහි රහස්‍යභාවයේ ආරක්ෂාව කෙසේ ද යත්, ඔබ පවසන ප්‍රකාශ, අධිකරණයකට හෝ සාක්ෂියක් ලෙස ලබා නොදීමට සමථ මණ්ඩලයට පනත මඟින්ම බලය ලැබී ඇත. එමෙන්ම අවසානයේ පාර්ශව අතර සාක්ච්ඡාවෙන් විකල්ප විසඳුම් ගණනාවකින් යෝග්‍යම, නිවැරදිම, සාධාරණම එකඟතාවය කරා ළඟා විය හැකි ය. සමථකරණ ක්‍රියාවලියේ දී පාර්ශවකරුවන්ට සවන් දෙන ආකාරය ද ඇතුළත් සන්නිවේදන ශිල්පීය උපක්‍රම මෙන්ම ගැටළු විශ්ලේෂනය හා පාර්ශවයන්ට සහය විය යුතු ආකාරය සමථකරුවන්ට පුහුණු කර ඇති අතර  එමගින් වඩා ගුණාත්මක සේවාවක් ඔවුන්ගෙන් ඔබට ලැබෙනු ඇත. 

ඔබට, ඔබගේ ප්‍රදේශයේ සමථ මණ්ඩලය පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් හෝ ග්‍රාම නිළධාරී කාර්‍යාලයෙන් හෝ සමථ මූල කොමිෂන් සභාව හරහා ලබා ගත හැකි ය. කාන්තා ඔබ, අද ම දැනුවත් වන්න. ඔබගේ ගැටළු ආරවුල් සමථ මණ්ඩලයට යොමු කරන්න. කාලය, ශ්‍රමය, මුදල් ඉතුරු කර ගනිමින් සාර්ථක, සාධාරණ, අපක්ෂපාතී සමථකරණයක් වෙත යොමු වන්න.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply