Eyeview Sri Lanka

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය රත්නපුර දී විවෘත වූ වගයි

Share with your friend

ඉතා ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව මෙම පොළොවෙන් ජනිත වන වර්ණවත් මැණික් සම්බන්ධයෙන් විශාල  ප්‍රසිද්ධියක් උසුලයි. චීන සහ අරාබි ජාතික වෙළෙඳුන් මෙම මැණික් මිලදී ගැනීමට මෙරටට පැමිණි බව අතීත මූලාශ්‍රයන්හි සදහන් වේ. මැණික් එබ්බ වූ පුටුවක් අරඹයා පැනනැඟුණු මතභේදයක් පසඳාලීම සඳහා භාග්‍යවතුන් වහන්සේ මෙරටට ප්‍රථම වරට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එවන් වූ පෞරාණික කර්මාන්ථයක සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, රත්නපුර දෙමුවාවත ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය 2021.01.20 දින උත්සවාකරයෙන් මුල්ගල තබා ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදි. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස කැබිනට් පත්‍රිකා අංක 18/1334/803/17 මඟින් සහ 2018.06.19 දිනැති අමාත්‍ය මණ්ඩල සටහන මඟින් මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 341.5 ක ඇස්තමේන්තුගත ආයෝජනයක් වන අතර මේ වන විට රුපියල් මිලියන 450 කට ආසන්න වියදමක් දරා ඇත. 2023.10.31 දින ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කර අධිකාරිය වෙත නිලවශයෙන් භාර දුන් අතර සාප්පු විකිනීම රජයේ ‍අනුමත ටෙන්ඩර් ක්‍රියාවලිය මඟින් අවස්ථා දෙකකට සිදු කෙරිණි. 

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිකිරීම, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වර්ධනය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරයි. එකම වහලක් යටින් පුළුල් පරාසයක සේවා සහ පහසුකම් පිරිනැමීම සඳහා නිර්මාණය කර ඇති වෙළෙඳ මධ්‍යස්ථානය දේශීය මෙන්ම ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් වනු ඇතැයි රජය අපේක්ෂා කෙරේ.

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙද මධ්‍යස්ථානය ව්‍යාපාරිකයින්ට සහ අපනයනකරුවන් සදහා අත්‍යවශ්‍ය පහසුකම් සහ සේවාවන් ඇතුළත් වනු ලෙස ඉදි කර ඇත. 

මෙම මධ්‍යස්ථානයේ කඩසාප්පු 27කින් සමන්විත වන අතර සාප්පු 17ක් දේශීය ව්‍යාපාරික ප්‍රජාවට  ද සාප්පු 10ක් විදේශීය ව්‍යාපාරික ප්‍රජාවට ද වෙන්කර ඇත. දේශීය ව්‍යාපාරිකයින් සදහා අනුමත සාප්පු සංඛ්‍යාවෙන් 10ක් ටෙන්ඩර් ක්‍රියාවලිය මඟින් පුද්ගලික අංශය වෙත ලබා දී ඇත. තවදුරටත් දේශීය ව්‍යාපාරිකයින් 7ක් සහ විදේශීය ව්‍යාපාරිකයින් 10 ක් සඳහා වෙළෙඳ අවකාශ ඉතිරිව පවතී.  මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු CECB (Central Engineering Consultancy Bureau) ආයතනය මඟින් ද උපදේශන සේවා සැපයීම CESL (Central Engineering Services (Pvt) Ltd ) ආයතනය මඟින් කොන්ත්‍රාත් කටයුතු භාරව කටයුතු කරන ලදි.

රත්නපුර දෙමුවාවත ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ගොඩනැගිල්ල මහල් හතරකින් (04) කින් සහ Roof Top හි අවන්හලකින් සමන්විත වන අතර බිම් මහල තුල අධිකාරියේ මැණික් පරික්ෂා කිරීමේ, සහතික නිකුත් කිරීමේ සහ තක්සේරු රසායනාගාරය සහ අපනයන අංශය පිහිටුවා ඇත. තවදුරටත් , මැණික් සහ ස්වර්ණාභරණ අපනයන කටයුතු පහසුකිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, තැපැල් දෙපාර්තමේන්තුව, රක්ෂණ සංස්ථාව සහ ගුවන් බඩු නිෂ්කාශණ සමාගම් සඳහා ද පහසුකම් ලබා දී ඇත.

මෙම පරිශ්‍රය ජනතා අයිතියට පත්කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ගේ සුරතින් 2024 අප්‍රේල් මස 4 වන පෙරවරු 10 ට සිදුකිරීමට නියමිත ය. 

මැණික්, මැණික් එබ්බවූ ආභරණ, ආභරණ , නියමිත ප්‍රමිතියට කපන ලද මැණික් ආදී සියළු අපනයනයන් සදහා අනුමැතිය ලබාදීම මෙම මධ්‍යස්ථානයේ ස්ථාපිත අපනයන අංශය මඟින් සිදු කර ගැනීමට අපනයනකරුවන්ට පහසුකම් සපයා ඇත. එසේම එම අපනයනයන් සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා රේගුවේ මැණික් අංශයේ ඒකකයක්, ගුවන්බඩු නිෂ්කාශණය කිරීමේ නියෝජිතයින්ගේ සේවාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කාර්යාලයක් සඳහා ද මෙම මධ්‍යස්ථානය තුළ ඉදිකර ඇත. මැණික් සහ ස්වර්ණාභරණ අපනයනකරුවන්ට ඔවුන්ගේ අපනයනයන්ට අදාල සියළුම පහසුකම් මෙම මධ්‍යස්ථානය තුළ කේන්ද්‍ර ගතවීම තුළ ඔවුන්ගේ අපනයනයන් පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීමට හැකියාව තිබේ. 

මෙම ම්‍යස්ථානය තුළ ස්ථාපිත මැණික් පරික්ෂා කිරීමේ කිරීමේ සහ සහතික නිකුත් කිරීමේ රසායනාගාරය මඟින් මැණික් පරික්ෂාකර සහතික නිකුත් කිරීම සිදුකරනු ලබයි. මෙම රසායනාගාරය මඟින් සහතික වර්ග 4ක් නිකුත්කරනු ලබන අතර ඒවා පහත පරිදි වේ. 

මෙමෝ සහතිකය 

ඡායාරූපය සහිත මෙමෝ සහතික පත්‍රය

ඡායාරූපය සහත විස්තරාත්මක සහතිකය 

ඡායාරූපය රහිත විස්තරාත්මක සහතික පත්‍රය

මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරකරුවන් සඳහා බැංකු සහ මුදල් හුවමාරු කිරීමේ පහසුකම මෙම මධ්‍යස්ථානය තුළ සපයා තිබීම තුළින් ව්‍යාපාර කටයුතු පහසු කර ඇත. 

මැණික් සහ ස්වර්ණාභරණ අපනයනකරුවන් සඳහා කූරියර් සහ තැපැල් සේවාව ඔස්සේ අපනයනය කරනු ලබන පාර්සල් යැවීම සඳහා මෙම මධ්‍යස්ථානය තුළ ශාඛා පිහිටුවීමට කටයුතු කර ඇත. 

මෙම මධ්‍යස්ථානය තුළ ස්ථාපිත තොරතුරු කවුන්ටරය මඟින් අධිකාරිය විසින් සපයනු ලබන සේවාවන් සහ මෙම මධ්‍යස්ථානය මඟින් ලබා දෙන සේවාවන් පිළිබද දැනගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබේ. 

මෙම වෙළෙඳ මධ්‍යස්ථානය තුළ වාහන නවතා තැබීමේ පහසුකම මෙන්ම ආපනශාලා පහසුකම් සපයා තිබීම දේශීය සහ විදේශීය මැණික් ව්‍යාපාරයේ නියැලෙන ව්‍ය‍ාපාරිකයින්ට පහසුවක් වනු ඇත. 


Share with your friend
Exit mobile version