Site icon Eyeview Sri Lanka

පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ශ්‍රී ලාංකික කාන්තාවන් දැනුවත් කිරීම සඳහා Sarvodaya-Fusion සහ HSBC අත්වැල් බැඳගනී

Share with your friend

ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ සාමූහික ප‍්‍රයත්නයක් ලෙස Sarvodaya-Fusion සහ HSBC සහයෝගීතාවයෙන් කාන්තාවන් සඳහා පුද්ගලික මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනික වැඩසටහනක් මෑතකදී දියත් කළේය.

‘‘මෙම වැඩසටහනේදී මූල්‍ය සාක්ෂරතාව යන්නෙන් අදහස් වන්නේ  ඕනෑම අයෙකුගේ මූල්‍ය ස්ථාවරභාවය සහතික වන ආකාරයට මුදල් පරිහරණය කිරීමට ඇති අවබෝධය හා හැකියාවයි. මෙයට පුද්ගලික මට්ටමින් මුදල් ඉපැයීම, ආයෝජනය, ආදායම්-වියදම් කළමනාකරණය සහ ඉතිරි කිරීම ඇතුලත් ආර්ථික වශයෙන් අභියෝගාත්මක කාල වකවානුවලදී මෙම මූල්‍ය සාක්ෂරතාවය අත්‍යවශ්‍ය ජීවන කුසලතාවක් ලෙස හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම, මුදල් පිළිබඳ මෙම දැනුම කාන්තාවන්ට වඩාත් ස්වාධීන, තෘප්තිමක් හා ආර්ථිකමය වශයෙන් සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට උපකාර වන මූලික සාධකය ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් HSBC ශ්‍රී ලංකා සහ මාලදිවයින වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී සහ වාණිජ බැංකු කටයුතු (Wholesale Banking) පිළිබඳ ප‍්‍රධානී, ස්ටුවර්ට් රොජර්ස් මහතා පැවසුවේය.

දැනට පවතින කොවිඞ්-19 වසංගත තත්වය මෙරට වැඩ කරන හා නොකරන කාන්තාවන් දෙපිරිසටම දැඩි බලපෑමක් එල්ල කොට තිබේ. වැටුප් විෂමතා හා ස්ත‍්‍රී-පුරුෂ අසමානතාවය සමඟින් මෙම දැඩි අභියෝගාත්මක කාලයේදී මේ සියල්ල කළමනාකරණය කිරීමට ඔවුන්ට සිදු වී ඇත. මෙම වැඩසටහන මගින් රැකියාවක් නොකරන කාන්තාවන් තම ගෙදර-දොර විය-හියදම් කළමනාකරණය කරගත යුතු ආකාරය මෙන්ම තම සහකරුට ලැබෙන ප‍්‍රධාන ආදායම හැර අමතර ආදායමක් උපයා ගැනීම සඳහා වෙනත් ක‍්‍රම සොයා ගැනීම පිළිබඳව ද දැනුවත් කරනු ලැබේ. මීට සමානව, සේවයේ නියුතු කාන්තාවන් බුද්ධිමත් ලෙස මුදල් ආයෝජනය හා ඉතිරි කිරීම මගින් මුදල් අතින් සාර්ථක වන්නේ කෙසේදැයි දැනුවත් වෙයි. පුද්ගලයින්ට Sarvodaya-Fusion ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් ලියාපදිංචි වීම් පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිය. මෙම වැඩසටහන සඳහා https://forms.gle/aMqgKXznmtFSpKt47 ඔස්සේ පුද්ගලයින්ට ලියාපදිංචි විය හැකි අතර නැතහොත් වැඩි විස්තර සඳහා Sarvodaya-Fusion ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.

‘HSBC වැනි ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් සමඟ එක්ව ශ්‍රී ලාංකික කාන්තාවන්ට මනා ලෙස මුදල් හැසිරවීම පාලනය කිරීම සඳහා සහාය වීමටත් ඒ පිළිබඳව දැනුවත් කිරීමට හැකි වීම ගැනත් අපට ඇත්තේ මහත් සතුටක්. ජනගහනයේ ප‍්‍රධාන කොටස් දෙකක් වන සේවය කරන හා නොකරන කාන්තාවන්ට මූල්‍ය සේවාවන් වෙත ප‍්‍රවේශ වීමට පමණක් නොව ඔවුන් එදිනෙදා ගනු ලබන තීරණ තුළින් තම පවුලේ හා සමාජයේ වෙනසක් ඇති කළ හැකි ආර්ථික නියෝජිතයින් ලෙස පිළිගැනීමක් තිබිය යුතු බව අපගේ විශ්වාසයයි.’’ යනුවෙන් Sarvodaya-Fusion උපදේශක මණ්ඩලයේ සභාපති රොහාන් පණ්ඩිතකෝරාලගේ මහතා පැවසුවේය. 

මෙහිදී පැය එකහමාර බැගින් වන Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරන අන්තර් ක‍්‍රියාකාරී වෙබිනාර් වැඩසටහන් මගින් බුද්ධිමත්ව වියදම් කිරීම, ණය කළමනාකරණය, අමතර ආදායමක් ඉපැයීම, පුරුද්දක් ලෙස ඉතිරි කිරීම හා නැණවත් ලෙස ආයෝජනය කිරීම යන ප‍්‍රධාන අංග ආවරණය කෙරේ. මෙම සැසිවලදී කාන්තාවන්ගේ උපරිම සහභාගීත්වය හා අන්තර් ක‍්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා වෙබිනාර් මත විමසීම්, සාකච්ඡුාව සඳහා ප‍්‍රවේශ වීම්, කතා බහ, ප‍්‍රශ්නෝත්තර සැසි හා ප‍්‍රතිචාරයන් පිළිබඳ මාර්ගගත සමීක්ෂණ වැනි ආකර්ෂණීය අංග උපයෝගී කරගනු ලබයි.

‘‘විශේෂයෙන් මෙම වසංගත කාලයේදී සමාජය මුදල් අතින් දුෂ්කරතාවලට මුහුණ දී ඇති ආකාරය අප දැක තිබෙනවා. දිවයින පුරා සිටින කාන්තාවන්ට ඔවුන්ගේ මුදල් කළමනාකරණයට හා මුදල්වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අවශ්‍ය නිපුණතා, ආකල්ප හා ක‍්‍රමවේද මෙම වැඩසටහනින් ඔවුන් වෙත ලබා දීමට හැකි වීම ගැන අපට සතුටුයි. මැනවින් සැලසුම් කරන ලද මෙම ‘වෙබිනාර්’ සම්මන්ත‍්‍රණ මගින් කාන්තාවන්ට තම මුදල් නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමටත්, එය තුළින් ඔවුන්ගේ ආර්ථික ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කරගැනීමටත් අවශ්‍ය ප‍්‍රායෝගික දැනුම ලබා දෙනවා.’’ යනුවෙන් රොජර්ස් මහතා තවදුරටත් පැවසුවේය.

2018 දී ශ්‍රී ලංකාවේ වැඩිහිටි සාක්ෂරතාව 92%ක් වුවද රටේ මූල්‍ය සාක්ෂරතාවය වාර්තා වන්නේ 35%ක් ලෙසය. මෙය තවමත් දකුණු ආසියාවේ ඉහළම අගය වුවද ඉහළ ලිවීමේ හා කියවීමේ හැකියාව මූල්‍ය කළමනාකරණයේ දක්ෂ බව යන කාරණය සමඟ සම්බන්ධ නොවේ. කෙසේවෙතත්, කියවීමට හා ලිවීමට ඇති හැකියාව යමෙකුට මූල්‍යමය සේවාවන් ඇති කරගැනීමට, ප‍්‍රවේශ වීමට හා භාවිතා කිරීමට ඇති පදනම වේ.

එමනිසා සේවය කරන හා නොකරන කාන්තාවන් දෙපිරිසටම තමන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් සමස්තයක් ලෙස සමාජයටත් ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙන්ම රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා පුද්ගලික මට්ටමින් වුවද දායක වීම සඳහා ඔවුන්ගේ මූල්‍ය භාවිතය පිළිබඳ දැඩි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුය. මීට අමතරව, නිවෙස්වල මූල්‍ය සාක්ෂරතාවය සාර්ථක පවුල් දිවියකට ද හේතු වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස වයස, තරාතිරම හා ස්ත‍්‍රී-පුරුෂභාවය ආදිය නොසලකා සියලූම ප‍්‍රජාවන් අතර මූල්‍ය සාක්ෂරතාවය හා මූල්‍ය හැකියාව වැඩිදියුණු කිරීම මගින් ඒ ඒ පුද්ගලයාගේ, සිය පවුලේ හා සමස්තයක් ලෙස රටේ ඉහළ ආර්ථිකයකට මගපාදනු ඇත.

මෙම අරමුණු පෙරදැරිව Sarvodaya-Fusion මෙම පුද්ගලික මූල්‍ය සාක්ෂරතා වැඩසටහන HSBC හි අනාගත කුසලතා වැඩසටහන යටතේ ආයතනික සමාජ වගකීමේ (CSR) ව්‍යාපෘතියක් ලෙස දියත් කළේය. අඩු වැටුප් ලබන සේවකයින්, උපාධි අපේක්ෂකයින් හා ව්‍යවසායකයින් ඉලක්ක කරගනිමින් පසුගිය වසර කිහිපය පුරාවට මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය. සමාජයේ විවිධ කණ්ඩායම්වලට පුද්ගලික මුල්‍ය කළමනාකරණයේ සිට ව්‍යාපාරික මූල්‍ය කළමනාකරණය දක්වා ඔවුන්ගේ මූල්‍ය තත්වයන් හසුරුවා ගැනීම පිළිබඳව අවශ්‍ය දැනුවත්භාවය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි.


Share with your friend
Exit mobile version