Eyeview Sri Lanka

බෙලරුසියානු සිසුන්ගේ 2025 වාර්ෂික සුහද හමුව හරහා අනාගත වෛද්‍ය ප්‍රජාවගේ ජයග්‍රහණ සමරනු ලබයි

Share with your friend

බෙලරුසියානු සිසුන්ගේ අධ්‍යාපන විශිෂ්ටත්වය සහ වෛද්‍ය විද්‍යාවේ අනාගතය විදහා දක්වමින්, 2025 වාර්ෂික බෙලරුසියානු සුහද හමුව, 200 කට අධික ශිෂ්‍ය ප්‍රජාවකගේ සහභාගීත්වය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පසුගියදා සමරනු ලැබීය. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා සුවිශේෂී වූ මෙහෙයක් ඉටු කිරීමෙහිලා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් වන, ISC අධ්‍යාපන ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමය (Belarusian Graduates’ Association) සමඟ එක්ව, අඛණ්ඩව සිව්වන වසරටත් සිසුන්, උපාධිධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඒකාබද්ධ කරමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ. 

බෙලරුසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ (Belarusian State Medical University – BSMU) ආදි සිසුන් සහ වර්තමාන වෛද්‍ය සිසුන් හා උපාධිධාරීන් අතර බැඳීම් තවදුරටත් ශක්තිමත් කරමින් මෙම සැමරුම උද්යෝගීමත් ක්‍රිකට් තරඟයකින් ආරම්භ විය. එය ප්‍රජාවේ සම්ප්‍රදාය, ජයග්‍රහණ සහ වෛද්‍ය වෘත්තියේ ඇති වටිනාකම් අගය කිරීම වෙනුවෙන් පවත්වනු ලැබෙන සැදෑ සාදයකින් අවසන් විය.

සාම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව මෙම සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරුණු  අතර, එහිදී බෙලරුස් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරන ලදී. බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති හා ශ්‍රී ලංකාවේ BSMU නියෝජිත ආචාර්ය හැරී ප්‍රසාද් මහතා සහ ISC අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා ශිෂ්‍ය නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

මෙම උත්සවයේ ප්‍රධානතම අංගයක් වූයේ පළමු වසරේ වෛද්‍ය සිසුන් 38 දෙනෙකු වෙත, ඔවුන්ගේ සායනික කටයුතු සඳහා පළඳිනු ලබන පළමු සුදු කබා ප්‍රධානය කිරීමයි. එම අවස්ථාව සිසුන් අනාගත වෛද්‍යවරුන් දක්වා යන ගමන් මග සංකේතවත් කරනු ලැබීය. එහිදී සිසුන් වෙත අවධාරණය කරනු ලැබුවේ, සුදු පැහැති කබාය බලාපොරොත්තුව, නිරෝගී බව සහ යම් දිනක රෝගීන් සහ ප්‍රජාවන් විසින් තමන් වෙත තබන විශ්වාසය නියෝජනය කරන බවයි.

මෙම උත්සවයේදී BSMU හි ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව විසින් අත්කර ගෙන තිබෙන සුවිශේෂී වූ අධ්‍යයන ජයග්‍රහණ ද විදහා දැක්වුණි. ආකර්ෂණීය අධ්‍යයන කාර්ය සාධනය, පර්යේෂණ දායකත්වය සහ නායකත්ව ගුණාංග යන සුවිශේෂී කාරණා අගය කරමින් මෙම අවස්ථාවේදී සිසුන් දස දෙනෙකු වෙත ISC බෙලරුසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන කටයුතු හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමක්ද සිදු කෙරිණි. මෙම ශිෂ්‍යත්වලාභීන් අතරින් ඉහළම දක්ෂතාවයන් දැක්වූ සිසුන් හතර දෙනෙකුට ඩොලර් 1,000 බැගින් වූ වටිනා ශිෂ්‍යත්වද පිරිනමන ලදී.

පළමු වසරේ සිසුන්ගේ සංස්කෘතික රඟදැක්වීම් හා ක්‍රිකට් තරගයේ සම්මාන ප්‍රධානය කරමින් සහ ශ්‍රී ලංකාවේ බෙලාරුසියානු වෛද්‍ය සිසුන්ගේ අත්දැකීම් ඇතුළත්වනසේ ලබා ගත් සමූහ ඡායාරූපයකින් මෙම වර්ණවත් සන්ධ්‍යාව අවසන් විය.

මෙම උත්සව අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා ISC අධ්‍යාපන ආයතනයේ නිල සංචාරක මග පෙන්වන්නා ලෙස වසර 30 කට වැඩි කාලයක් පුරා අත්දැකීම් ලත්, IATA අනුමැතිය ලත් සංචාරක නියෝජිත ආයතනයක් වන TGL Travels (Pvt) Ltd සමාගම ඇතුළු උපායමාර්ගික හවුල්කරුවන් ද සහාය දැක්වූහ.

බෙලරුසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය Rubnikovich Sergei මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපගේ BSMU පවුලේ ඇති විශේෂත්වය වන්නේ අපගේ සබඳතාවය උපාධිය ලබා ගැනීමෙන් පසු අවසන් නොවීමයි. ඔබ වෘත්තිය මට්ටමෙන් කුමන ස්ථානයක සිටියත්, ඔබ මේ තුළ ගොඩනඟන මිත්‍රත්වයන්, සහයෝගය සහ ඔබ සතුව ඇති වටිනා හැඟීම ජීවිත කාලය පුරාවටම ඔබ සමඟ පවතීවි. මෙය විශ්වවිද්‍යාලයක් පමණක් නොවේ,එය ලොව පුරා විසිරී සිටින පවුලක්.”

ISC අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ඉන්දුජා පුෂ්පනාදන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෙසේ පැවසුවාය. “මෙම හමුව වසර පුරාවට අපගේ බැඳීම් ශක්තිමත් කරනවා. එහිදී නවක සිසුන්ගේ දෙමාපියන් සුපුරුදු ලෙස අනෙක් සිසුන්ගේ පවුල් සමඟ සබඳතාවයන් ගොඩනගා ගන්නවා. බෙලරුස් බලා පිටත්ව යාමට සූදානම් වන සිසුන්ට ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ සිසුන් මේ හමුව හරහා හමුවෙනවා. එය සෑම කෙනෙකුටම සහයක් වන ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රජාවක්‌ ලෙස කටයුතු කරනවා.”

2017 වසරේදී පිහිටුවන ලද බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමය, වර්තමානය වන විට ලොව පුරා රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක උපාධිධාරීන් සම්බන්ධ කර ගනිමින්, වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළද මෙම ජාත්‍යන්තර ජාලයේ සැලකිය යුතු නියෝජනයක් හා වර්ධනය වන අදියරකට පැමිණ ඇත. සංගමය විසින් ඉටු කරනු ලබන මෙහෙවර තුළින් අවධානය යොමු කෙරෙන්නේ ශක්තිමත් ආදි ශිෂ්‍ය සබඳතා පවත්වා ගැනීම, අධ්‍යයන හා වෘත්තීය වර්ධනයට සහාය වීම සහ ගෝලීය වශයෙන් බෙලරුසියානු විශ්වවිද්‍යාලවල අධ්‍යයන විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීමටය.

සංවිධායකයින් පිළිබඳව :

බෙලරුසියානු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ISC අධ්‍යාපන ආයතනය ශ්‍රී ලාංකීය සිසුන්ට මඟ පෙන්වමින්, ඒ සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ සිට උපාධිය ලබා ගැනීම දක්වා පුළුල් සහායක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ බෙලරුසියානු උපාධිධාරීන්ගේ සංගමය, ආදි ශිෂ්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට සහ බෙලරුස් රාජ්‍යයේ හි වෛද්‍ය වෘත්තීන් හදාරන වර්තමාන සිසුන් සඳහා සෑම මොහොතකදීම සහාය ලබා දේ.  බෙලරුස් හි වෛද්‍ය විද්‍යාව හැදෑරීම හෝ එම ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0777556666 යන දුරකථන අංකය ඔස්සේ ISC අධ්‍යාපන ආයතනය අමතන්න.


Share with your friend
Exit mobile version