යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මාන 4 ක්

Home » යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් තවත් ජාත්‍යන්තර සම්මාන 4 ක්
Share with your friend

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, තවත් ජාත්‍යන්තර සම්මාන 4 කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. නවෝත්පාදනයේ සහ ඩිජිටල්කරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘Global Business Magazine’ විසින් මෙම සම්මාන යූනියන් ඇෂුවරන්ස් වෙත පිරිනමන ලදි. ලොව ක්ෂේත්‍ර රැසක පරිවර්තනයන් හා නවෝත්පාදනයන් සිදුකිරීමට පෙරමුණ ගන්නා සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් Global Business Magazine විසින් මෙම සම්මාන වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. 

මෙවර සම්මාන උළෙලේදී 2022 වසර සඳහා ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල්කරණය වන රක්ෂණ සමාගම’, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම නව රක්ෂණ විසඳුම’, ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදිත අධ්‍යාපන රක්ෂණ සැලසුම’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් රක්ෂණ සමාගම’ යන සම්මාන යූනියන් ඇෂුවරන්ස් සමාගම වෙත හිමි විය. 

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසුවේ මෙම සම්මාන, සමාගමේ පාරිභෝගික-කේන්ද්‍රීය ක්‍රමෝපාය නිසා හිමි වූ තවත් ජයග්‍රහණයක් බවයි. නවෝත්පාදනය හා සේවා විශිෂ්ටත්වය ඔස්සේ, ගනුදෙනුකරුවන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීමට සමාගමට හැකියාව ලැබී ඇති බව ඒ මහතා පැවසී ය. 

ජූඩ් ගෝම්ස් මහතා පෙන්වා දුන්නේ, Global Business Magazine වැනි කීර්තිමත් සඟරාවක ඇගයීමට ලක්වීමට නම් සැබෑ දූරදර්ශී දැක්මක් අවශ්‍ය බවයි. “අනාගතය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් යුතුව, ඩිජිටල් තාක්ෂණයට මුල්තැන දෙමින් කටයුතු කරන සමාගමක් නිසා අපට රක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට හැකියාව ලැබී තිබෙනවා. අපගේ නවෝත්පාදන විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කිරීමට අප සමත් වුණා. එමෙන්ම ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා අපගේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට අප සෑම විටම පියවර ගෙන තිබෙනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. 

2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඩිජිටල්කරණය වන රක්ෂණ සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වූයේ එහි නවීන තාක්ෂණයට මුල්තැන දෙන ක්‍රමෝපාය හේතුවෙනි. මෙම ප්‍රවේශය නිසා ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසන විශිෂ්ට සේවාවක් ලබාදීමට සමාගමට හැකියාව ලැබී තිබේ. සමාගම මෑතකදී හඳුන්වා දුන් ‘Clicklife digital app’ මේ සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී. ගනුදෙනුකරුවන්ට තම ජංගම උපාංග ඔස්සේ රක්ෂණ කටයුතු කළමනාකරණය කරගැනීමට අවස්ථාව සලසා දීම තුළින්, මෙරට ජීවිත රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ පෙරළිකාරී වෙනසක් සිදුකිරීමට එය සමත් විය. 

ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදිත අධ්‍යාපන රක්ෂණ සැලැස්ම (2022) සම්මානය යූනියන් ඇෂුවරන්ස් සමාගම වෙත හිමි වූයේ Sisumaga+ සැලසුම වෙනුවෙනි. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට අත්වැලක් වන ආකාරයට මෙම සුවිශේෂී සැලසුම නිර්මාණය කර තිබේ. රක්ෂණ හිමියාට අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි අධ්‍යාපන අරමුදලක් වන එය, මාසික ලාභාංශ ලෙස සමාගම විසින් ගෙවනු ලබන වාර්ෂික පොලියත් සමග වර්ධනය වන අතර, සැලසුම කල්පිරුණු පසුව 15% ක ‘ලෝයල්ටි බෝනස්’ දීමනාවක්ද ගෙවනු ලබයි.  

2022 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික සමාජ වගකීම් රක්ෂණ සමාගම ලෙස සම්මාන හිමිවීමද යූනියන් ඇෂුවරන්ස් සමාගම ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. මෙරට තුළ COVID-19 රෝග ව්‍යාප්තිය පැවති අවධියේදී සිදුකරන ලද පුළුල් මට්ටමේ ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක් වෙනුවෙන් මෙම සම්මානය හිමි විය. රටේ සංවර්ධනයට දායක වීමේ අරමුණින්, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ පරිසරය යන අංශ ආවරණය වන පරිදි සමාගම විසින් මෙම වැඩසටහන් ක්‍රියාවට නංවන ලදි. එමෙන්ම නව කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන් සුවිශාල කාර්යභාරයක් ඉටුකළේ ය. මීට අමතරව සමාගම විසින් අධි ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍ර, හදිසි ප්‍රතිකාර සඳහා භාවිතා කරන ට්‍රොලි, වීඩියෝ ලැරින්ගස්කෝප් සහ වෙන්ටිලේටර් යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා උපකරණද පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.


Share with your friend

Leave a Reply

%d bloggers like this: