Eyeview Sri Lanka

වීසා සහ කොමර්ෂල් බැංකුව එක්ව ඔවුන්ගේ කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව හඳුන්වාදෙමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයෙහි නව යුගයක් අරඹයි. 

Share with your friend

ශ්‍රී ලංකාව තුළ පළමු වරට Google Wallet දියත් කිරීමේ කොටසක් ලෙස, කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් හිමියන් සඳහා Google Pay සේවාව හඳුන්වාදීමට, Google සහ ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයෙකු වන වීසා සමඟ සහයෝගීව කටයුතු කිරීම ආරම්භ කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා නව අරම්භයක් ලබා දෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැක.

මෙරට තුළ Visa කාඩ්පත් හිමියන් සඳහා Google Pay සක්‍රීය කළ එකම බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, මෙමඟින් ලෝක මට්ටමේ ජංගම ගෙවීම් ක්‍රම හරහා සිය ගනුදෙනුකරුවන්ට සුවිශේෂී වාසියක් හිමිකර දීමට බැංකුව කටයුතු කර ඇත. මෙම සහයෝගීතාවය හරහා Visa හි විශ්වාසනීය ගෝලීය ජාලය සහ උසස් Tokenization තාක්ෂණයත්, Google හි ආරක්ෂිත බව සහ භාවිතයට පහසු යෙදවුමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් ඩිජිටල් බැංකුකරණ ක්‍රමවේදය ඉතා සාර්ථකව ඒකාබද්ධ කර තිබෙනවා.

මෙම සේවාව හරහා කොමර්ෂල් බැංකුවේ Visa ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ඉතා පහසුවෙන් තම කාඩ්පත් Google Wallet වෙත ඇතුළත් කළ හැකිවන අතර, එක් වරක් පමණක් භාවිතා වන මුරපදයක් (OTP) මගින් හෝ පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානය හරහා අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙම සේවාව සක්‍රීය කරගත හැක. 

ඒ අනුව, දේශීයව හෝ ජාත්‍යන්තරව Visa පිළිගන්නා ඕනෑම POS යන්ත්‍රයක් වෙත තම NFC පහසුකම සහිත Android ස්මාර්ට් ජංගම දුරකථනය සම්බන්ධ කිරීමෙන් ඉතා ආරක්ෂිතව ගෙවීම් සිදු කළ හැක. මේ හරහා ගනුදෙනුකරුවන්ට කාඩ්පත් හෝ මුදල් ලඟ තබා ගැනීමට අවශ්‍ය නොවන අතර, හුදෙක් තම ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයෙන් වඩාත් ආරක්ෂිත සහ පහසු ගෙවීම් සිදුකරගැනීමට හැකිවේ.

මෙම ක්‍රියාවලිය සඳහා Visa Token සේවාව භාවිතා කරමින් Tokenization තාක්ෂණය සැපයීමට තෙවන පාර්ශවීය සේවා සැපයුම්කරුවෙකු ලෙස IDEMIA සමඟ කොමර්ෂල් බැංකුව එක්වී සිටින අතර Tokenization හරහා ඉලක්කම් 16 කාඩ්පත් අංකය වෙනුවට සුවිශේෂී ඩිජිටල් ටෝකනයක් ආදේශ කිරීම මගින් සෑම ගනුදෙනුවක්ම ආරක්ෂිතව සිදු කරනු ලබයි. මෙහිදී පරිශීලකයාගේ සංවේදී දත්ත වෙනත් පාර්ශව සමඟ බෙදාගැනීමක් හෝ ගබඩා කිරීමක් සිදු නොවන අතර මෙම සේවාව දියත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සිය කාඩ්පත් මාරු කිරීමේ සැපයුම්කරු වන Euronet හි ගෙවීම් පහසුකම් භාවිතා කර ඇති අතර, එමගින් විශ්වාසනීය සහ ආරක්ෂිත ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කරයි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය.  “Visa සහ Google සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය, පාරිභෝගිකයින්ගේ ඩිජිටල් 

ගෙවීම් අත්දැකීම් ඉහළ නැංවීම සඳහා අපගේ ඇති කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව ලෙස, මෙම සහයෝගීතාවය හරහා ඕනෑම තැනක, ඕනෑම වේලාවක බාධාවකින් තොර සහ ආරක්ෂිත ගනුදෙනු සිදුකරගැනීමට ගනුදෙනුකරුවන් වෙත අවස්ථාව ලබාදීමෙන්, අපගේ ඩිජිටල් බැංකුකරණ හැකියාව තවදුරටත් පෙන්නුම් කරනවා. Tokenization වැනි ගෝලීය නවෝත්පාදනයන් ලබා ගනිමින්, ඩිජිටල් බැංකුකරණයේ විශිෂ්ටත්වය කරා යන ගමනේ පෙරමුණ ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු සහිත අනාගතයක් හැඩගැස්වීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමටත් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව කටයුතු කරනවා. මෙම හවුල්කාරිත්වය මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයින්ට ආරක්ෂාව සහ පහසුව ලබා දෙනවා පමණක් නොව, නවීන තාක්ෂණයෙන් යුත් මූල්‍ය පද්ධතියක් වෙත, මෙරට බැංකුකරණ සේවාවන් ‍රැගෙන යාමටද අවස්ථාව ලබා දෙනවා. එමෙන්ම මෙරට ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට ලෝක මට්ටමේ ඩිජිටල් විසඳුම් ගෙන ඒම සඳහා බැංකුවේ ඇති දීර්ඝකාලීන උපායමාර්ගය මෙමගින් මනාව පිළිබිඹු වෙනවා.” 

Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය මෙම සාමූහික ප්‍රයත්නය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.  “Google Pay හි ගෙවීම් අත්දැකීම ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා කොමර්ෂල් බැංකුව සහ Google සමාගම සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන Visa ආයතනය ලෙස අප සතුටු වෙනවා. හුදෙක් ස්මාර්ට් ජංගම දුරකථනයක් මගින් වඩාත් වේගවත්, පහසු සහ ආරක්ෂිත ගෙවීම් අත්දැකීමක් අත්විඳීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලබා දෙන මෙම සේවාව, ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්ෂේත්‍රයේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරනවා. Visa හි විශ්වාසනීය ගෝලීය ජාලය සහ උසස් Tokenization තාක්ෂණය, Google හි ආරක්ෂිත යෙදවුම් සහ මෙරට තුළ කොමර්ෂල් බැංකුවේ පවත්නා ශක්තිමත් ස්ථාවරත්වය යන ත්‍රිත්වය එක්ව ඩිජිටල් ගෙවීම්වල නව පරිච්ඡේදය නිර්මාණය කරමින් සිටින අතර, එමගින් මිලියන ගණනක්වූ ශ්‍රී ලාංකිකයින් හට පෙර නොවූ විරූ මට්ටමේ ඩිජිටල් ගනුදෙනු සඳාහා වූ ආරක්ෂාවක්, විශ්වාසයක්, සහ පහසුවක් අත්විඳීමට හැකි වනු ඇත.” 
මෙම සේවාව අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මකට අනුව ක්‍රියාත්මක වන අතර, මූලික අදියරේදී තෝරාගත් කාඩ්පත් වර්ග කිහිපයක් සඳහා පමණක් ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, Global Finance මගින් ශ්‍රී ලංකාවේ ‘Best Mobile Banking App’  ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස පිළිගැනීමට ලක්ව ඇත. පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කිරීම සහ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා Tokenization සහ නව පරම්පරාවේ ගෙවීම් තාක්ෂණයන් භාවිතා කිරීමට බැංකුව කැපවී සිටී.


Share with your friend
Exit mobile version