Eyeview Sri Lanka

සමාජ ඒකාබද්ධතාව සඳහා තරුණ පරිවර්තනය සිදු කරමින්, SYA වැඩසටහනෙහි සීමාවාසික පුහුණුව පැවැත්වේ

Share with your friend

දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක විසිරී සිටින කාර්යශූර උද්‍යෝගිමත් තරුණ තරුණියන් සවිබල ගන්වමින්, ඔවුන් සතු හැකියාවන් ඔප් නංවමින් පැවැත්වෙන, සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන මගින්, දිවයිනේ දිස්ත්‍රික්ක 14 ක තරුණ තරුණියන් 280 දෙනෙකු සඳහා ජීවිතය වෙනස් කරන මාහැඟි සීමාවාසික පුහුණු අවස්ථාවන්  පිරි නමා තිබේ. 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID) මගින් අරමුදල් සැපයෙන, සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP) සහ Global Communities මගින් ක්‍රියාත්මක කෙරෙන සමාජ ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන  (SCORE) තරුණ ක්‍රියාකාරකම් (SYA) වැඩසටහන දිවයින පුරා සිටින තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් ඔප් නැංවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි. වයස අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා දායක කර ගැනීමට මෙන්ම, සිවිල් දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙය මාස 12 ක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වේ. 

මෙම වැඩසටහන මගින්, පූර්ව සීමාවාසික පුහුණු කඳවුරු වලින් අනතුරුව සීමාවාසිකයින් 280 දෙනෙකු මාස ​​4 ක කාලයක් සඳහා සිය දිස්ත්‍රික්කය තුළ විවිධ ආයතනවලට අනුයුක්ත කෙරිණි. එහිදී, පුහුණුකරුවන් දෙදෙනකුගේ මග පෙන්වීම යටතේ ඔවුනට සතියට දින හතරක් සත්කාරක ආයතනයේ වැඩ කිරීමටත්, අනෙක් දින එනම්, සිකුරාදා දිනයෙහි නැවතත් පුහුණු කටයුතුවල නියැලීමටත් අවස්ථාව ලැබී තිබිණි. සමස්තයක් වශයෙන් ගත් කල, සමාජ ක්‍රියාකාරිකයින් ලෙස තරුණයින්ට මෙම සීමාවාසික පුහුණුව මගින්, විවිධ සමාජ ගැටලු හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම අරමුණු කර තිබේ. 

මෙවැනි පුහුණුවකින් සැලසෙන වැදගත්ම ජයග්‍රහණයක් නම්, රටෙහි අභිවෘද්ධිය වෙනුවෙන් වැඩකටයුතු කිරීමට තරුණ ප්‍රජාව තුළ උද්යෝගය වර්ධනය කිරීමයි. “සීමාවාසික පුහුණුවෙන් පසුව මම මෙහිදී ලැබූ අත්දැකීම් සමග රටේ සංවර්ධනය සඳහා දායක වීමට කැමතියි. මම ත්‍රිමාණ සජීවිකරණ සහ වෙබ් සංවර්ධන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබීමට තෝරා ගත්තෙත්,  ඒ නිසයි. මම ඒ ඔස්සේ සාර්ථක වුණොත්, මට ඊළඟ පරම්පරාවටත් ඒ මාර්ගය විවෘත  කරන්නත් පුළුවන්.” යනුවෙන් පුහුණුව සාර්ථක ලෙස නිමා කළ යාපනය ප්‍රදේශයේ සීමාවාසිකයකු සඳහන් කළේය. 

සිය වෘත්තිය ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමටද ඇතැම් තරුණ පිරිස් මෙම පුහුණු අත්දැකීම් උපයෝගී කර ගෙන ඇත. සිමාවාසික පුහුණුව ලැබූ මාතර ප්‍රදේශයෙන් තෝරා ගැණුනු තරුණියක් සඳහන් කළේ මෙවැන්නකි. “ගණකාධිකාරිවරයකු වීම මගේ අරමුණ නිසා මම ආධුනික ගණකාධිකාරිවරයෙක් ලෙස සත්කාරක ආයතනයේ සේවය කළා. ආයතනයෙන් ලැබූ එම පුහුණුව නිසා, මට විදේශ සමාගමක කනිෂ්ට ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා.” අතැමකුට සිය සිහින වෘත්තියට පිය නැගීමට මෙම පුහුණුව හිණි මගක් වී තිබේ. මෝස්තර නිරූපණ වෘත්තිය ස්වකීය සිහින වෘත්තිය ලෙස තෝරා ගත් මුලතිව් ප්‍රදේශයේ තරුණියක පුහුණුව සඳහා මැහුම් ආයතනයකට බැඳී තිබිණි. එමෙන්ම නවකතා රචිකාවක වීමේ සිහිනයට පණ දෙන මොණරාගල තරුණියක සීමාවාසික පුහුණුව සඳහා පොත් සාප්පුවකට බැඳී, නවකතා කියවීමට මෙන්ම ඇගේම නවකතාව ලිවීමටත් අවස්ථාව සලසා ගෙන තිබිණි. 

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත් තරුණ තරුණියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් මෙම වැඩසටහන ඊට සුදුසුම කාලයේදී හඳුන්වා දුන් බව පොදු පිළි ගැනීමයි.  “වසංගතය නිසා සෑහෙන කාලයක් නාස්ති වී යාම ගැන මම හිටියෙ කණස්සල්ලෙන්. ඒ වුණත්, SYA මගින් පැවැත්වූ පුහුණු කඳවුර, මාස 4 සීමාවාසික පුහුණුව, සිකුරාදා දිනවල පැවැත්වූ පුහුණු සැසි සඳහා සහභාගි වෙන්න අවස්ථාව සැලසුවා. ” තමන්ට මෙම පුහුණුව ලබා ගැනීමට අවස්ථාව සලසා දීම පිළිබඳව තරුණ තරුණියෝ IYAP වෙත සිය කෘතඥතාව පළ කළහ. එමෙන්ම, තමන්ට ආදර්ශමත් පුරවැසියන් බවට පත් වීමේදී සිය හැකියාවන් සහ දුර්වලතා හඳුනා ගැනීම සඳහා මෙම පුහුණුව මගින් මාහැඟි පිටුබලයක් සැලසුණු බවද ඔවුහු ප්‍රකාශ කළහ. 

2013 වසරේ කොළඹ පදනම් කරගනිමින් පිහිටුවා ගැනුණු සාමය සඳහා වන ජාත්‍යන්තර තරුණ සන්ධානය (IYAP), තරුණ ප්‍රජාව ගේ හැකියාවන් සවිබල ගන්වමින් ඔවුන් සතු කුසලතා ප්‍රජාවට සහ රටට දායාද කරලීමට අවස්ථාව සලසන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයකි. එහි අරමුණු අතර, තරුණ නියෝජනය ශක්තිමත් කර සමාජයට සහ රටට බලපාන ගැටලු විසඳීම සඳහා නායකත්ව භූමිකාවන් කරා ඔවුන් යොමු කිරීම කැපී පෙනේ.


Share with your friend
Exit mobile version