ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රබලයෙකු මෙන්ම චාල්ස් කොමාර් සහ පුත්‍රයින් සමාගමට අනුබද්ධිත ස්ටාර් ගාමන්ට් සමූහය, ටෝගෝ හි ඇඩෙටිකෝප් කාර්මික කලපයේ (PIA) සිය නවීන ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලව පසුගියදා නිල වශයෙන් විවෘත කළේය. ටෝගෝ කවුන්සිලයේ අතිගරු සභාපති ෆවුරේ නසිබේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය, සමාගමට මෙන්ම බටහිර අප්‍රිකානු ඇඟලුම් කර්මාන්තයට පරිවර්තනීය සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙය ස්ටාර් ගාමන්ට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත විවෘත කරන පළමු ඇඟලුම් කර්මාන්තශාලාව වීම ද විශේෂත්වයකි. සමාගමේ ගෝලීය වර්ධනය සඳහා උපායමාර්ගික දොරටුවක් ලෙස ටෝගෝ රාජ්‍යයේ ඇති වැදගත්කම ඉන් පිළිබිඹුවන අතරම ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ බටහිර අප්‍රිකාවට ඇති වැදගත් භූමිකාව ද එමගින් පෙන්නුම් කෙරේ. ශ්‍රී ලංකාව ස්ටාර් ගාමන්ට්ස්හි සේවා මධ්‍යස්ථානය ලෙස දිගටම කටයුතු කරනු ඇති අතර, ස්ටාර් ගාමන්ට්ස්හි ඒකාබද්ධ ගෝලීය නිෂ්පාදන ජාලයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් පුළුල් කරනු ඇත.
හෙක්ටයාර 3.7 ක දැවැන්ත භූමි ප්‍රමාණයක පිහිටි මෙම ඇඟලුම් කර්මාන්තශාලව තුළ ටෝගෝ ජාතිකයින් 2,000 ක් සඳහා සෘජු රැකියා අවස්ථා නිර්මාණය කෙරේ. තව ද රැකියාවලින් සියයට 60කට වඩා කාන්තාවන් වෙනුවෙන් වෙන්කිරීම ද කැපීපෙනේ. වර්ෂ 2030 වනවිට මෙහි සෘජු හා වක්‍ර රැකියා 4,520 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන් එරට ආර්ථිකය දැවැන්ත පරිවර්තනයකට බඳුන් කරනු ඇත.
“මෙය කර්මාන්ත ශාලාවකට වඩා වැඩි දෙයක්. එය රැකියා, පුහුණුව සහ ගෞරවය සහ විශිෂ්ටත්වය මත පදනම් වූ ගෝලීය නිෂ්පාදන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ටෝගෝ ජනතාව වෙත කරන දිගුකාලීන කැපවීමක්. මෙම කර්මාන්තශාලාවට අපි ටෝගෝ රාජ්‍යය තෝරා ගැනීම අහඹුවක් නොවේ. අපි මෙම රට තෝරා ගත්තේ ආර්ථික ස්ථාවරත්වය, යටිතල පහසුකම් සංවර්ධනය සහ ආයෝජන ආකර්ෂණය කෙරෙහි අවධානය යොමු කළ නැගී එන ජාතියක්,ලෙස දුටු නිසායි,” චාල්ස් කෝමාර් සහ පුත්‍රයෝ හි ප්‍රධාන විධායක නිලධාරී චාලි කෝමාර් මහතා ප්‍රකාශ කළේය.
ඇඟලුම් කම්හලේ පුළුල් පුහුණු වැඩසටහන් මගින් ටෝගෝ සේවකයින් ගෝලීය මට්ටමේ නිෂ්පාදන කුසලතාවන්ගෙන් සන්නද්ධ කරනු ඇති අතර, එරට කාර්මික ධාරිතාව වැඩි දියුණු කරන දක්ෂ ශ්‍රම බලකායක් ද බිහි කරනු ඇත. එ් අනුව මෙම ව්‍යාපෘතිය, දේශීය කුසලතා සඳහා තිරසාර වෘත්තීය මාර්ග ස්ථාපිත කරන ටෝගෝ හි ජාතික සංවර්ධන අරමුණු සමඟ ද සමපාත වේ.
එරට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මැනුවෙලා සැන්ටොස් මහත්මිය සමාරම්භක උත්සවය අමතමින් මෙසේ පැවසුවාය: “වසර 40කට අධික කාලයක් ඇඟලුම් කර්මාන්තයේ නියැළී එහි විශේෂඥතාවක් උසුළන ස්ටාර් ගාමන්ට්ස් සමූහය, ශ්‍රී ලංකාවෙන් පිටත තම පළමු නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙස ටෝගෝ තෝරා ගත්තා – එය අපේ රටට වැදගත් සංඥාවක් වගේම අපගේ කාර්මික දැක්ම කෙරෙහි ඇති දැඩි විශ්වාසය පිළිබිඹු කෙරෙනවා.”
පූර්ණ ධාරිතාව යටතේ දිනකට ඇඟලුම් 50,000ක් නිෂ්පාදනය කළ හැකි මෙම ඇඟලුම් කර්මාන්තශාලාව හරහා, ජාත්‍යන්තර වෙළඳපොළට වෙත රාත්‍රී ඇඳුම්, ලිහිල් ඇඳුම් සහ ස්ථර සහිත ඇඟලුම් අපනයනය කරනු ඇත. ඒ හරහා ගෝලීය ඇඟලුම් වෙළඳපොලේ තරගකාරී රටක් ලෙස ටෝගෝව ස්ථාපිත කරන අතරම, එරටට සැලකිය යුතු විදේශ විනිමය ඉපැයීමක් ද ජනනය කෙරේ.
ශ්‍රී ලංකාව තුළ සිය සමස්ත මෙහෙයුම් ක්‍රියාවලි හරහා කාබන් ශූන්‍යබවට සහතික කරන ලද එකම ඇඟලුම් සමාගම් සමූහයවන ස්ටාර් ගාමන්ට්, ටෝගෝහි ද දැඩි පාරිසරික ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. එමෙන්ම බටහිර අප්‍රිකාව පුරා තිරසාර නිෂ්පාදන පිළිවෙත් සඳහා ආදර්ශයක් සපයමින් LEED සහතිකය ද අනුගමනය කරනු ඇත. මෙම වසර මුලදී, ශ්‍රී ලංකාවේ පැවති 2024 NCE අපනයන සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශය වෙනුවෙන් රන් සම්මානයක් දිනාගැනීමට ද ස්ටාර් ගාමන්ට් සමූහයට හැකිවිය.