Eyeview Sri Lanka

සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම 65 වැනි අන්තර් සමාගම් මේස පන්දු ලීග් ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වයි

Share with your friend

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ මේස පන්දු කණ්ඩායම, පසුගියදා පැවති 65 වන අන්තර් සමාගම් මේස පන්දු ලීග් ශූරතා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. මෙම තරගාවලිය අම්බලන්ගොඩ SRS ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

මෙහිදී තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් එහි A කාණ්ඩයේ අනුශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකුවේ පිරිමි මේස පන්දු කණ්ඩායම සමත් වූ අතර, C කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනාගැනීමට එහි කාන්තා කණ්ඩායම සමත් විය.

2024 වසර පුරාම ප්‍රධාන පෙළේ තරගාවලිවලදී මෙලෙස විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කිරීමට සෙලාන් බැංකුවේ පිරිමි මේස පන්දු කණ්ඩායමට හැකියාව ලැබිණි. 65 වැනි වෙළඳ සේවා පිළිමලුන් පිටුදැකීමේ මේස පන්දු තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනාගත් එම කණ්ඩායම, 69 වැනි අන්තර් සමාගම් වෙළඳ සේවා විවෘත මේස පන්දු තරගාවලියටද සහභාගී විය.

සෙලාන් බැංකුවේ පිරිමි මේස පන්දු කණ්ඩායමේ ප්‍රමුඛතම සාමාජිකයෙකු වන චලිත රංජන මේස පන්දු ක්‍රීඩාවෙන් දේශීය හා ජාත්‍යන්තර පදක්කම් රැසක් දිනා ඇති දක්ෂ ක්‍රීඩකයෙකි. 2024 වසරේදී ඔහු Open Master’s Singles තරගාවලියේ ශූරයා වූ අතර, Open Men’s Doubles හි අනුශූරතාව දිනාගැනීමටත්, Open Men’s Singles හි අවසන් පූර්ව වටයට පිවිසීමටත් සමත් විය.

ඊට අමතරව චලිත රංජන වෙළඳ සේවා කේවල ශූරතාව අඛණ්ඩව 9 වරක් ජයග්‍රහණය කර ඇති අතර, පසුගිය වසර 20 ක කාලය තුළ වෙළඳ සේවා කණ්ඩායම් තරගාවලියේ A කාණ්ඩයේ අවසන් වටයට පැමිණෙමින් ශූරතාව හෝ අනුශූරතාව දිනාගැනීමට සමත් වී තිබේ.  ජාත්‍යන්තර වශයෙන් ඔහු 2004 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, 2010 වසරේ බංග්ලාදේශයේ ඩකා නගරයේදී පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය. ඊට අමතරව ඔහු 1999 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවර සහ 2003 වසරේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු දකුණු ආසියානු තරගාවලිවලදී ලෝකඩ පදක්කම් දිනා ඇත. තවද ඔහු 2017, 2018 සහ 2019 යන වසරවලදී නවසීලන්ත විවෘත තරගාවලිවලදීද පදක්කම් කිහිපයක්ම හිමිකරගෙන තිබේ.

2019 වසරේ වෙළඳ සේවා ශූරතා තරගාවලියේදී සහ 2007 සහ 2008 වසරවල ජාතික ක්‍රීඩා තරගාවලිවලදී විශිෂ්ටතම මේස පන්දු ක්‍රීඩකයා ලෙස ඇගයීමට ලක්වීමටද චලිත රංජනට හැකියාව ලැබිණි. වසර 4 ක් ජාතික මේස පන්දු ශූරයා වූ ඔහු, මේස පන්දු සංගමයේ ශ්‍රේණිගත කිරීම් අනුව 1999 සිට 2004 දක්වා සහ 2008 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ අංක එකේ මේස පන්දු ක්‍රීඩකයා බවට පත් විය.

සෑම ක්ෂේත්‍රයකම විශිෂ්ටත්වය අගයන සෙලාන් බැංකුව, සිය සාමාජික සාමාජිකාවන් තම රැකියාවේ සීමාවෙන් පිටත තමන් ප්‍රිය කරන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන විට ඔවුන්ට පූර්ණ සහයෝගය ලබාදීමට සෑම විටම සූදානමින් සිටී. තම මේස පන්දු කණ්ඩායම සහ එහි සාමාජික සාමාජිකාවන් මෙතෙක් වාර්තා කර ඇති ජයග්‍රහණ පිළිබඳව ආඩම්බර වන අතරම, ක්‍රීඩා කටයුතු දිරිගන්වන ආයතනික සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ඉදිරියේදී ක්‍රීඩාව තුළින් තවතවත් ජයග්‍රහණ වාර්තා කිරීමටද සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.  


Share with your friend
Exit mobile version