ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පවත්වනු ලැබුවේ ගෝලීය අභියෝග හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ කැපවීම යළි යළිත් තහවුරු කරමිනි. රජිතා ජයසූරිය මහත්මිය (SLAEA) හි සභාපතිනිය ලෙස මෙදින නිල වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බවටද ඇය සභාව හමුවේ පොරොන්දු විය.
![](https://eyeviewsl.com/wp-content/uploads/2025/02/SLAEA2-1-1024x682.jpg)
එදින ජීවිත් සේනාරත්න – උප සභාපති, හසිබ් ඕමාර් – භාණ්ඩාගාරික, ඉන්දික ලියනහේවගේ – හිටපු සභාපති ලෙස ද තෝරා පත්කර ගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැතිණි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ගරු ජූලි චන්ග් මහත්මියද සහභාගී විය. මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය හා ජාත්‍යන්තර සහයෝගීතාව උදෙසා හිතකර පරිසරක් නිර්මාණය කිරීම සඳහා රජයේ කැපවීම ඒ තුළින් මනාව ප්‍රදර්ශනය විය.
අභියෝග හඹායාම හා අවස්ථා උදා කර ගැනීම
මෙහිදී සභාව ඇමතූ නව සභාපතිනි රජිතා ජයසූරිය මහත්මිය ආර්ථික ගැටලු හා ගෝලීය වෙළෙඳපොල තත්වයන් හමුවේ වුව ශ්‍රී ලාංකේය ඇඟලුම් අංශයේ නොසැලී සිටීමේ හැකියාව පිළිබඳව අවධාරණය කරන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය “විවිධ අර්බුදයන් හමුවේ අධිෂ්ඨානශීලීව නැගී සිටිමින් ඇඟලුම් කර්මාන්තය ශක්තිමත් කිරීමට කැපවූ 35,000කට අධික ශ්‍රම බලකායේ කැපවීම පිළිබඳව අප මුලින්ම ස්තුතිය පුද කළ යුතුයි. එම වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගත යුතු අතර අපනයන වෙළෙඳපොල විවිධාංගීකරණය කරමින් දේශීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. අපි අනෙකුත් රටවල් සමඟ තරඟයක් ලබා දීමට නම් කඩිනම් නවෝත්පාදන හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුයි.” යනුවෙන් පැවසුවාය.
අපට උපායමාර්ගික රාජ්‍ය සහයෝගයේ වැදගත්කම අවධාරණය කළ ඇය “දේශීය රෙදිපිළි නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජන ඉහළ නංවන, වෙළෙඳාමට ඇති බාධක ඉවත් කරන හා ව්‍යාපාර සිදු කිරීමේ පහසුව උදා කරදෙන ප්‍රතිපත්ති අවශ්‍ය වනවා. ඒ තූලින් ශ්‍රී ලංකාවේ සැපයුම්දාම හැකියාවන් ශක්තිමත් කිරීමට මෙන්ම අපගේ නිෂ්පාදකයින් හට ශක්තිමත්ව නැගී සිටීමට හා උනන්දුවෙන් කටයුතු කිරීමට හැකියාව උදා වනවා.” යනුවෙන් පැවසුවාය.
කර්මාන්තයේ වර්ධනය උදෙසා රජයේ දායකත්වය
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මහත්මිය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ඇඟලුම් ක්ෂේත්‍රයේ තීරණාත්මක කාර්යභාරය හා වර්ධනය සඳහා ඇති හැකියාව අවධාරණය කරන ලදී.
එහිදී අදහස් දැක්වූ එතුමිය සඳහන් කර සිටියේ “මෙරට ප්‍රධාන ආර්ථික සාධකයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ ශක්තිය, නවෝත්පාදනය හා ගෝලීය සම්බන්ධතාවය පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස ඇඟලුම් කර්මාන්තය සඳහන් කළ හැකියි. ඇඟලුම් අපනයනකරුවන්ට සහාය වන ආකාරයේ වෙළෙඳ ගිවිසුම් වැඩි දියුණු කරන හා සීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය ආර්ථිකයක් තූළ ශ්‍රම බලකායේ දියුණුව සහතික කරන ප්‍රතිත්ති මාලාවක් නිර්මාණය කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා” යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත හා රාජ්‍ය සහයෝගීතාවේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය “ගෝලීය වෙළෙඳපොල වෙනස්වීම්, ඩිජිටල් පරිවර්තනය සහ තිරසාර අවශ්‍යතා සඳහා එල්ල වන අභියෝග අපි අවබෝධ කර ගත යුතුයි. සදාචාරාත්මක හා තිරසාර නිෂ්පාදන භාවිතයන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා SLAEA සහ කර්මාන්ත නායකයින් සමඟ සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙන්ද පවසා සිටියාය.
හෙට දවස වෙනුවෙන් වන උපාය මාර්ග
ජයසූරිය මහත්මියගේ නායකත්වය යටතේ SLAEA හි සුවිශේෂී ප්‍රමුඛතා
01. තාක්ෂණය හා නව්‍යකරණය – ඵලදායීතාව හා විනිවිදභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ස්වයංක්‍රීයකරණය, ඩිජිටල්කරණය හා AI මත පදනම් වූ විසඳුම් ඉදිරිපත් කිරීම
02. වෙළෙඳපොල විවිධාංගීකරණය – වර්ධනය වන ආර්ථිකයන් හා නව ව්‍යාපාර අවස්ථා ගවේෂණය කිරීම මඟින් සාම්ප්‍රදායික වෙළෙඳපොල මත යැපීම අවම කිරීම
03. ශ්‍රම බලකාය සංවර්ධනය – දිගු කාලීන කර්මාන්ත වර්ධනයක් වෙනුවෙන් කම්කරුවන්, විශේෂයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කුසලතා පුහුණුව හා ප්‍රතිපත්ති සඳහා ආයෝජනය කිරීම
04. ප්‍රතිපත්ති උපදේශනය – ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාරික හිතකාමී රෙගුලාසි ඉහළ නැංවීම
“ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රය වෙනස් වෙමින් පවතින බැවින් ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානමින් සිටිය යුතුයි. එයින් අදහස් කරන්නේ අප ජාත්‍යන්තර වෙළෙඳපොල සමඟ සම්බන්ධ වීමේදී අනුවර්තනය විය හැකි වීමේ, නව්‍යකරණයේ හා උපායමාර්ගික වීමේ හැකියාව ඉහළ නංවා ගත යුතු බවයි.” ජයසූරිය මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් මෙරට ආර්ථික ස්ථාවරත්වයේ ප්‍රධාන සාධකයක් ලෙස විදේශ විනිමය ඉපයීම උදෙසා සැලකිය යුතු දායකත්වයක් දක්වනු ලබයි. ශක්තිමත් කර්මාන්ත නායකත්වය, රාජ්‍ය අනුග්‍රහය සමඟින් තිරසාර වර්ධනයක් හා ගෝලීය පිළිගැනීමක් සහිත අනාගතයක් කරා මෙම අංශය මෙහෙයවීමට සූදානමින් සිටියි.