Site icon Eyeview Sri Lanka

ඇබර්ඩීන් සමූහය, ‘ස්නේහදාන පදනම‘ පිහිටුවමින් සරණක් අවැසි ජනතාව වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ගෙනෙයි  

Share with your friend

රට තුළ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ සරණක් අවැසිව සිටින ජනතාව වෙත සහනයක් සැලසීමේ උදාර අරමුණින් යුතුව ‘ස්නේහදාන පදනම‘ නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් (Aberdeen Holdings) සමූහය, පසුගියදා පියවර ගත්තේ ය. 

සමාජ සුබසිද්ධිය වෙනුවෙන් අර්ථාන්විත සහ ස්ථීර දායකත්වයක් සපයන ස්නේහදාන පදනමේ පළමු ව්‍යාපෘතිය ලෙස කොළඹ 3, 17 වැනි පටුමගේදී ස්නේහදාන ප්‍රජා මුළුතැන්ගෙය ආරම්භ කෙරුණි. වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින 100කට වැඩි අසරණ පුද්ගලයින් වෙත සතියේ දිනවලදී පෝෂ්‍ය දායී රාත්‍රී ආහාරවේලක් ලබාදීමට ස්නේහදාන ප්‍රජා මුළුතැන්ගෙය කටයුතු කරයි. රට තුළ පවතින ආහාර හිඟතාව මැඬලීමට දායකත්වයක් සැපයීම එහි අරමුණයි. 

අනුබද්ධිත සමාගම් 14ක් සහ 1,300කට වැඩි සමස්ත කාර්යමණ්ඩලයකින් හෙබි ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය තම මානුෂීය සත්කාර වැඩසටහන් ඉහළ නැංවීමට මේ වනවිට කටයුතු කරමින් සිටියි. ඒ අනුව ඉදිරියේදී තවත් ප්‍රජා මුළුතැන්ගෙවල් විවෘත කිරීමටත්, ආපදා අවස්ථා ඉලක්ක කරගත් ආහාර සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, එමෙන්ම අධ්‍යාපනික, මාතෘ සෞඛ්‍යය සහ රෝහල් වෙනුවෙන් විශේෂ ආහාර වැඩසටහන් ඇරඹීමටත් සමූහය සැලසුම් කර තිබේ. 

ඇබර්ඩීන් සමූහයේ සමාජ සත්කාර ව්‍යාපෘති පිළිබඳ දැනුවත් වීමට මහජනතාවට අවකාශ සලසමින් ස්නේහදාන පදනමේ වෙබ් අඩවිය ද පසුගියදා ඇබර්ඩීන් සමූහයේ අධ්‍යක්ෂ ශාෆික් කාසිම් මහතා අතින් විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට ඇබර්ඩීන් සමූහයේ සභාපති සත්තාර් කාසිම් මහතා සහ සමූහයේ විශ්‍රාමලත් ගරු සභාපති ඔස්මාන් කාසිම් මහතා ද සහභාගී වූහ. 

2023 වසරේදී ඇබර්ඩීන් සමූහය ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන දායකත්වය පිළිබඳ මහත් කීර්තියක් අත්කරගත් අතර, ආයතනික ඒකාබද්ධතාව සහ නායකත්ව දැක්ම සමඟින් විවිධ ප්‍රජා කාණ්ඩ වෙත තිරසර වර්ධනයක් ළඟාකරදීමට ඇති හැකියාව ද එමඟින් සාධනය කිරීමට සමූහයට හැකිවිය. 

ස්නේහදාන පදනම සහ එහි මෙහෙවර පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට https://aberdeenholdings.com/snehadhana-foundation/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. 


Share with your friend
Exit mobile version