Eyeview Sri Lanka

ඇමරිකා එක්සත් ජනපදය 30%ක තීරු බදු පැනවීම හේතුවෙන් මෙරට පොල් කර්මාන්තය විශාල පසුබෑමකට මුහුණ දෙයි

Share with your friend

2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා 30%ක ආනයන තීරුබදු පැනවීමට එක්සත් ජනපදය පසුගියදා තීරණය කරන ලදී. එම තීරණය සම්බන්ධයෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI) විසින් ශ්‍රී ලංකා රජය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය. එක්සත් ජනපදය විසින් ගනු ලැබූ මෙම තීරණය ශ්‍රී ලංකාවේ වටිනාම අපනයන අංශයක වර්ධනය සඳහා දැඩි තර්ජනයකි. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 857කට වැඩි ආදායමක්  උපයනු ලබන එම අංශය සමඟ සම්බන්ධ ග්‍රාමීය ජීවනෝපායන් දහස් ගණනකට මෙම තීරණය දැඩිව බලපානු ඇත. 

ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි විශාලතම තනි ගැනුම්කරු වන්නේ ඇමරිකාවයි. එම අංශයේ අපනයනයන්ගෙන් 20%කට වැඩි ප්‍රමාණයක් ඊට අයත් වන අතර එහි වටිනාකම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 160ක් පමණ වේ. ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය සඳහන් කරන්නේ නව තීරු බදු මඟින් එක්සත් ජනපද වෙළෙඳපොලේ ශ්‍රී ලංකා මිල තරඟකාරීත්වය විනාශ වන බවයි. ඒ අනුව පිලිපීනය, වියට්නාමය සහ ඉන්දියාව වැනි තරඟකාරී සැපයුම්කරුවන් විසින් ලිහිල් වෙළෙඳපොල ප්‍රවේශයක් උරුම කරගනිද්දී ගෝලීය වශයෙන් ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ කීර්තියක් අත්කරගෙන ඇති මෙරට නිෂ්පාදන පිරිවැය හේතුවෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත.  

CCCI හි සභාපති ජයන්ත සමරකෝන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “මෙය ප්‍රතිපත්තිමය වෙනසක් පමණක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ කර්මාන්තය වෙනුවෙන් කැප වුණු සමස්ත කර්මාන්තයට එල්ල වුණු මරු පහරක් ලෙස සැලකිය හැකියි. අපගේ නිෂ්පාදන පිරිසිදු බව, රසය සහ පෝෂණය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙනවා. නමුත් 30% තීරු බදු හේතුවෙන් ගැනුම්කරුවන්ට ඒවා මිලදී ගැනීමට අපහසු වනවා. ගුණාත්මකභාවය නිසා නොව පිරිවැය මත අපට මිල නියම කර තිබෙනවා. මුලින් යෝජනා කර තිබූ 44%ක බදු ප්‍රතිශතය 30%ක් දක්වා අඩු වීම ඉතා හොඳයි. නමුත් එම ප්‍රතිශතය තුලින් එල්ල කරන බලපෑම හේතුවෙන් අපනයන තරඟකාරීත්වය මෙන්ම කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටින ලක්ෂ ගණනක ග්‍රාමීය ජීවනෝපායන්ට ඇතිවන බලපෑම ඉතා විශාලයි.” යනුවෙනි.

පොල් ආශ්‍රිත නිෂ්පාදනයන්හි අගය එකතු කළ භාණ්ඩ රැසක් මෙම අවදානමට ලක් විය හැකි අපනයන භාණ්ඩ අතරට අයත් වේ. ඒ අතර වියලි පොල්, වර්ජින් සහ පිරිපහදු කළ පොල් තෙල්, පොල් කිරි සහ ක්‍රීම්, පොල් වතුර, කොහු කෙඳි නිෂ්පාදන, සක්‍රිය කාබන් සහ ලෙලි පදනම් වූ වගා මාධ්‍ය ප්‍රධාන වේ. මේවායින් බොහොමයක් ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොල තුළ ප්‍රමුඛස්ථානයක් දිනාගෙන ඇති උසස් නිෂ්පාදන වුවද වත්මන් බදු පැනවීම් තූළ ගැනුම්කරුවන්ට වැඩි මිලකට මිලදී ගන්නවාට වඩා ලාභදායී වෙනත් විකල්පයන් වෙත යොමු වීමට සිදුව ඇත. 

කෙසේ වුවද, මෙම බලපෑම සිදු වන්නේ වෙළෙඳ සංඛ්‍යාලේඛනවලට පමණක් නොවන බව මෙහිදී සඳහන් කළ හැකිය. විශේෂයෙන් කුඩා වතු හිමියන්, සැපයුම්කරුවන්, කර්මාන්තශාලා සේවකයින්, සැපයුම් සපයන්නන් මෙන්ම අපනයනකරුවන් ඇතුලු පොල් කර්මාන්තය තම ජීවනෝපාය කරගත් සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 800,000කට අධික සංඛ්‍යාවක් මේ තුලින් බලපෑමට ලක් වේ. එසේම නිෂ්පාදන අංශයන්හි ඍජු රැකියා 150,000කට වැඩි සංඛ්‍යාවක් ඉතා ඉක්මණින් තර්ජනට ලක්වනු වනු ඇත. එමෙන්ම අපනයන ඉල්ලුමේ හදිසි පහත වැටීම හේතුවෙන් මෙරට වෙළෙඳපොල අලෙවි නොකළ නිෂ්පාදනයන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. මේ හේතුවෙන් ගොවිපලින් ලබා දෙන මිල පහත වැටීම සිදු වන අතරම දැනට පවතින උද්ධමනය හා ඉහළ යන නිෂ්පාදන පිරිවැය සමඟ දුෂ්කර තතවයකට පත්ව සිටින ග්‍රාමීය පවුල් වල ආදායම් මාර්ග අහිමි කිරීමටද මෙය හේතුවක් වනු නිසැකය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ වැඩසටහන අනුව විශ්වාසදායක, තරඟකාරී මූල්‍ය ගමනාන්තයක් බවට පත්වීමට කටයුතු කරමින් සිටින අවධියක පොල් අපනයනයන්හි පහත වැටීම ආයෝජකයින්ගේ විශ්වාසය සහ විදේශ ආයෝජන බිඳ වැටීමට හේතු වනු ඇතැයි CCCI මේ පිළිබඳව අනතුරු හඟවමින් පෙන්වා දෙයි. අනෙකුත් පොල් නිෂ්පාදන කරන රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය සහායක් මෙන්ම අඩු වියදම් සැලසුම් ලබා දෙන බැවින් ශ්‍රී ලාංකේය කර්මාන්තකරුවන් හට රැකියා, ප්‍රාග්ධන හා දිගු කාලීන අවස්ථා ලබා ගනිමින් විදේශයන්හි සිය මෙහෙයුම් වෙනස් කිරීමේ අවදානමක් පවතින බවද පෙන්වා CCCI දෙයි.

මෙම ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට කඩිනම් අවධානය හා සම්බන්ධීකරණය සඳහා කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය තීරුබදු සහන හෝ නිදහස් කිරීම් සඳහා වන විකල්යන් සොයා ගැනීම වෙනුවෙන් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ වහාම සම්බන්ධ වන ලෙසද රජයට දැනුම් දෙයි. අපනයනකරුවන් හට කොටි කාලීනව එල්ල වන අභියෝග දරා ගැනීමට මෙන්ම දිගු කාලීන තරඟකාරීත්වය ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා ඉලක්කගත සහාය, ප්‍රධාන වෙළෙඳපොල වෙත සාධාරණ ප්‍රවේශය සහතික කරන ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ආරක්ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.

සමරකෝන් මහතා නැවත නැවතත් අවධාරණය කර සිටියේ මෙය තවදුරටත් ආර්ථිකය සම්බන්ධ ගැටලුවක් නොව ජාතික ප්‍රමුඛතාවයක් වන බවයි. “මේ කර්මාන්තය අවධානමට ලක්වීම හරහා කඩා වැටීමට සැලැස්වුවහොත් අපට ප්‍රධාන අපනයන ආදායම් උපයන ක්ෂේත්‍රයක් පමණක් නොව ග්‍රාමීය හැකියාවන්, ආහාර සුරක්ෂිතතාව සහ කාර්මික වර්ධනයේ සුවිශේෂී සාධක ගසක් අහිමි වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.” සමරකෝන් මහතා පවසයි.


Share with your friend
Exit mobile version