Eyeview Sri Lanka

ජපන් තානාපතිතුමන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සංචාරයක

Share with your friend

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාවය අවධාරණය කරමින්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය. මෙම නිල සංචාරයට තානාපතිවරයා සමඟ ජපාන තානාපති කාර්‍යාලයේ මූල්‍ය ප්‍රධානී යුකාකෝ මිසුනුමා සහ දෙවන ලේකම් සචි ටනකා යන මහත්මීන් ද සහභාගීව සිටියහ.

ටෝකියෝ සිමෙන්ති සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා සහ, ටෝකියෝ සිමෙන්ති සමූහයේ තාක්ෂණික හවුල්කරු වන, ජපානයේ Mitsubishi UBE Cement Corporation සමාගම නියෝජනය කරන නාමික සහ විධායක නොවන අධ්‍යක්ෂ මිචියෝ මත්සුඕකා මහතා විසින්, ත්‍රිකුණාමලයේ සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයේ මෙහෙයුම් සහ පරිපාලන මධ්‍යස්ථානය වන ටෝකියෝ සිමෙන්ති තාක්ෂණික විශිෂ්ටතා කේන්ද්‍රයේදී ජපන් දූත පිරිස පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ප්‍රගමනයේ සහ කාර්මික සංවර්ධනයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නොබෝදා විවෘත කරන ලද, මෙට්‍රික් ටොන් මිලියනයක නිෂ්පාදන ධාරිතාවයකින් යුත් ටෝකියෝ සිමෙන්ති නවතම සිමෙන්ති ඇඹරුම් කර්මාන්තශාලාව මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන තැනක් ගැනිනි.

මීට අමතරව, නැගෙනහිර සිමෙන්ති කර්මාන්ත ශාලා සංකීර්ණයට අයත් ටෝකියෝ සිමෙන්ති ජැටිය සහ දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුරෝගාමී සලකුණක් වන, ජාතික විදුලිබල පද්ධතියෙන් ස්වාධීනව සම්පූර්ණ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියම බලගන්වන ටෝකියෝ සිමෙන්ති ජෛව ඉන්ධන විදුලි බලාගාරය ද ජපන් දූත සංචාරයට අයත් විය. තවද, ටෝකියෝ සිමෙන්ති සමූහයේ සමාජ සුභසාදනය සඳහා වන කැපවීම පිළිබිඹු කරන්නාවූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් අරමුණු කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන, ත්‍රිකුණාමලයේ ඒ.වයි.එස්. ඥානම් ගැමි හදගැස්ම ප්‍රජා සවිබලගැන්වුම් මධ්‍යස්ථානය ද තානාපති කාර්‍යාල නිලධාරී මඬුල්ලේ නිරීක්ෂණ සංචාරයට ඇතුළත් විය.

දශක හතරකට වැඩි කාලයක් පුරා ටෝකියෝ සිමෙන්ති සමූහය ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ශක්තිමත් සංකේතයක් ලෙස කටයුතු කරන අතර, පුළුල්ව පැතිරුනු වටිනාකම් ජාලයක් හරහා තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනයක් සඳහා සුවිසල් දායකත්වයක් ලබාදෙයි.

කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළ අතිගරු තානාපති ඉසෝමාටා මැතිතුමා, ටෝකියෝ සිමෙන්ති සමාගමේ ශක්තිමත් ව්‍යාපාරික ජයග්‍රහණ පමණක් නොව සමාගමේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය 100%ක් පුනර්ජනනීය විදුලියෙන් ක්‍රියාත්මක කරවීමෙන් පාරිසරික වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට සමාගම දක්වන කැපවීම අගය කලේය. ව්‍යාපාරික ඉලක්කයන්ගෙන් ඔබ්බට සිය සමාජ වගකීම ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ අධ්‍යාපනය සහ හැකියාවන් වැඩිදියුණුකිරීම අරමුණුකරගත් සාර්ථක ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරවීම පිළිබඳව තමා විශේෂයෙන් පැහැදුණු බව ද අතිගරු තානාපති ඉසෝමාටා මැතිතුමා සඳහන් කළේය.

පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් හිමි ටෝකියෝ සිමෙන්ති සමූහය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ වඩාත්ම විශ්වාසදායක සැපයුම්කරු ලෙස කීර්තියක් අත්කර ගෙන ඇත. සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට සමාගම කැපවී සිටියි. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ තිරසාරභාවය පෙරටු කරගත් ව්‍යාපාරික දැක්මකින් යුතුව, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය තහවුරු කරගැනීමට ටෝකියෝ සිමෙන්ති සමූහය සමත්ව සිටියි.–

ඡායාරූප:

ජපන් තානාපති අතිගරු අකියෝ ඉසොමාටා මැතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩල නිලධාරීන් ත්‍රිකුණාමලයේ ටෝකියෝ සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවේ නියැලෙමින්

Share with your friend
Exit mobile version