Eyeview Sri Lanka

ජෝර්ජ් කීට් පදනම මගින් තරුණ කලාකරුවන්ගේ දක්ෂතා කරළියට ගෙන එන ‘Young Contemporaries’ ප්‍රදර්ශනය නැවතත් දියත් කරයි 

Share with your friend

ජෝර්ජ් කීට් පදනම මගින් නවක කලාකරුවන් හා කලකාරියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන ‘Young Contemporaries’ මඳ විරාමයකින් අනතුරුව නැවත වරක් සංවිධානය කිරීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 24 සිට 28 දක්වා කොළඹ Barefoot Gallery හිදී පැවැත්වීමට නියමිතය. 

පළමු පේළිය (වමේ සිට) – මලින්ද ජයසිංහ, ෆාතිමා අවුරාඩ්, බිලාල් රාජි සහීඩ්, චතුෂි බුද්ධිකා ප්‍රේමසිරි, කැතරිනා ඩැනියල් සහ ඉෂාරා මධුවන්ති හපන්ගම 
දෙවැනි පේළිය (වමේ සිට) – චලිත් කළුපහන, උදිත චිරන්ත, පොන්නයියා පීටර්, දිෂ්රත් සෙනෙවිරත්න, රාජිත පෙරේරා සහ සුදර්ශි රණබාහු

මෙම ප්‍රදර්ශනයේදී නවක ශ්‍රී ලාංකික කලාකරුවන් හා කලාකාරියන් 12 දෙනෙකුගේ නිර්මාණ දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වනු ඇත. වසර 35 ක පටන් මෙරට කලා සංස්කෘතික උරුමය පෝෂණය කිරීමට කැප වී සිටින ජෝර්ජ් කීට් පදනම මෙබඳු වැඩසටහන් ඔස්සේ නව පරපුරට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නිරන්තරයෙන් අවස්ථාව උදා කර දෙයි. 

විවිධ පසුබිම්වලට අයත්, විවිධාකාර වූ කලා සම්ප්‍රදායන් අනුගමනය කරන කලාකරුවන් හා කලාකාරියන් 12 දෙනෙකුගේ නිර්මාණ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබේ. සාම්ප්‍රදායික චිත්‍ර හා මූර්ති කලාවන්ගේ සිට පර්යේෂණාත්මක ඡායාරූපකරණය (Experimental Photography)  සහ බහුමාධ්‍ය ස්ථාපනයන් (Multimedia Installations) දක්වා අතිශය පුළුල් පරාසයක විහිදී පවතින මෙම නිර්මාණ, සමකාලීන කලා භාවිතයන්ගේ අපූර්වත්වය මැනැවින් විදහා දක්වන නිර්මාණ එකතුවක් ලෙස හැඳින්විය හැක. පාරිසරික හා සමාජයීය ගැටලුවල සිට පුද්ගල අනන්‍යතාව හා සංස්කෘතික උරුමය දක්වා විවිධාකාර වූ තේමාවන් රාශියක් මෙම නිර්මාණවලට වස්තු විෂය වී ඇති අතර, සමකාලීන කලාකරුවන්ගේ නිර්මාණාත්මක දෘෂ්ටියෙහි පාරාසයට එය මනා සාක්ෂියකි. 

මලින්ද ජයසිංහ (ගම්පහ), ෆාතිමා අව්රාඩ් (කොළඹ), බිලාල් රාජි සහීඩ් (කොළඹ), චතුෂි බුද්ධිකා ප්‍රේමසිරි (කොස්ගම), කැතරිනා ඩැනියල් (යාපනය), ඉෂාරා මධුවන්ති හපන්ගම (බණ්ඩාරවෙල), චලිත් කළුපහන (වාද්දුව), උදිත චිරන්ත (මහරගම), පොන්නයියා පීටර් (කිලිනොච්චි), දිෂ්රත් සෙනෙවිරත්න (මහනුවර), රාජිත පෙරේරා (මහනුවර) සහ සුදර්ශි රණබාහු (කුරුණෑගල) යන කලාකරුවන් හා කලාකාරියන්ගේ නිර්මාණ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබේ.

කලාකරුවන්ට හුදෙක් තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමෙන් නොනැවතී නරඹන්නන් සමග අර්ථවත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අවස්ථාව සලසා දීමටද ජෝර්ජ් කීට් පදනම සෑම විටම උත්සාහ කරයි. මෙම ප්‍රදර්ශනයේදීද නිර්මාණකරුවන් හමු වී ඔවුන් සමග කතාබස් කරමින්, ප්‍රදර්ශනයට තබා ඇති නිර්මාණ මෙන්ම ඒවාට පාදක වූ හේතු හා අදහස් සහ භාවිතාවන් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වනු ඇත. 

කලාකරුවන්ට අවස්ථාව ලබාදීමෙන් නොනැවතී ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන්ගේ දක්ෂතා ඇගයීමටද ජෝර්ජ් කීට් පදනම නිරන්තරයෙන් කටයුතු කරයි. එම නිසා ‘Young Contemporary 2025’ ප්‍රදර්ශනයෙන් අනතුරුව සම්මාන ප්‍රදානයක් සිදුකිරීමටද ජෝර්ජ් කීට් පදනම කටයුතු යොදා ඇති අතර, එහිදී විශිෂ්ටතම කලා නිර්මාණ එකතුව හිමි නිර්මාණකරුවාට හෝ නිර්මාණකාරියට සම්මාන හිමි වනු ඇත. 

“වසර කිහිපයක නිහැඬියාවකින් පසු නැවතත් ‘Young Contemporaries’ ප්‍රදර්ශනය පැවැත්වීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ තරුණ කලාකරුවන්ට හා කලාකාරියන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. මේ සඳහා අයදුම් කළ තරුණ කලාකරුවන් හා කලාකාරියන් විශාල සංඛ්‍යාවක් අතරින් තෝරාගත් විශිෂ්ටයන් කිහිප දෙනෙකුට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අතිශය දුර්ලභ අවස්ථාවක් හිමි වී තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් කලා ලෝලී නරඹන්නන් විශාල පිරිසක් ඇදී එන ප්‍රදර්ශනයක්. මෙම ප්‍රදර්ශනය සාර්ථක කරගැනීම සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවටත්, අපට සත්කාරකත්වය සපයන Barefoot කලාගාරයටත් අපගේ කෘතඥතාව පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා පැවසීය. 

නැවත වරක් ජෝර්ජ් කීට් පදනම සමග අත්වැල් බැඳගනිමින් ‘Young Contemporary 2025’ හි අනුග්‍රාහකයා ලෙස කටයුතු කරනුයේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවයි. මෙම දායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කලා කටයුතුවල උන්නතිය වෙනුවෙන් කැපවෙමින් තරුණ කලාකරුවන්ට සහ කලාකාරියන්ට අවස්ථා රාශියක් උදා කර දීමට ජෝර්ජ් කීට් පදනමට හැකියාව ලැබී තිබේ. 

ජෝර්ජ් කීට් පදනම දශක තුනහමාරක් පුරා මෙරට කලා ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් ‘Sri Lankan Art’, ‘කලා පොළ’ සහ Sotheby’s International මගින් මෙහෙයවනු ලබන ලාභ අරමුණු කර නොගත් කලාකෘති වෙන්දේසිය ඇතුළු වැඩසටහන් රාශියක් වාර්ෂිකව සංවිධානය කර ඇත. මෙම වැඩසටහන් මගින් මෙරට කලාකරුවන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට මෙන්ම තම හැකියාවන් වැඩිදියුණු කරගැනීමටත්, සෙසු කලාකරුවන් සහ රසික රසිකාවියන් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් අවස්ථාව හිමි වේ.  

Young Contemporaries ප්‍රදර්ශනය ප්‍රථම වරට සංවිධානය කරන ලද්දේ 1991 වසරේදී ය. වයස අවුරුදු 35 ට අඩු කලාකරුවන් හා කලාකාරියන් කරළියට රැගෙන එමින් ඔවුන්ට සෙසු කලාකරුවන්, රසික රසිකාවියන් සහ නිර්මාණ එකතු කරන්නන් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අවස්ථාව උදා කර දීම එහි අරමුණ විය. මෙබඳු වැඩසටහන් ඔස්සේ සමකාලීන කලාව පෝෂණය කරන අතරම නිර්මාණශීලිත්වය හා නවෝත්පාදනය අගය කරන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට ජෝර්ජ් කීට් පදනම සෑම විටම උත්සාහ දරයි. 

‘Young Contemporaries 2025’ ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් 25 සිට 28 දක්වා කොළඹ 03 ගාලු පාරේ Barefoot Gallery හිදී දිනපතා පෙ.ව. 10.00 සිට ප.ව. 6:30 දක්වා  පැවැත්වේ.


Share with your friend
Exit mobile version