Eyeview Sri Lanka

බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක ගෝලීය කාන්තා ප්‍රධාන විධායක නිලධාරී සම්මාන උළෙලේදී බුහුමන් දිනයි

Share with your friend

ව්‍යාපාර ක්ෂේත්‍රයේ වඩාත්ම බලගතු සහ දූරදර්ශී කාන්තාවන් අගයමින් ජුනි 25 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති 2025 ගෝලීය හොඳම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී සම්මාන උළෙලේදී, බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ගෞරව බුහුමනට පාත්‍ර විය.

බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක

නවෝත්පාදනය, ශක්තිමත්බව සහ අරමුණ තුළින් ව්‍යාපාර පරිවර්තනය කරන සුවිශේෂී ව්‍යාපාර නායිකාවන් සැමරීම සඳහා ප්‍රථමවරට සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙලට, විවිධ කර්මාන්ත අංශවල ප්‍රධාන විධායක නිලධාරීහු 400කට අධික පිරිසක් සහභාගී වූහ.

ඩිජිටල් පරිවර්තනයේ කැපී පෙනෙන නායකත්වය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අංශයට ලබාදුන් දිගුකාලීන දායකත්වය වෙනුවෙන් අනෝජා මෙහිදී ඇගයීමට ලක් විය. දශක දෙකකට අධික වෘත්තීය දිවියක් හිමි ඇය, බවර් සමාගමේ ඩිජිටල් අනාගතය හැඩගැස්වීමට නායකත්වය සැපයූවාය. එහිදී විශේෂයෙන්ම ක්ලවුඩ් කේන්ද්‍රීය ක්‍රමෝපය, දත්ත-පාදක තීරණ ගැනීම සහ අන්තර්කරණයෙන් යුතු තාක්ෂණික භාවිතාවන් හඳුන්වාදීමට ඇය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළාය. 

SAP Analytics Cloud Live reporting සමඟින් SAP S/4 HANA 2020 ක්ලවුඩ් යෙදවීම ක්‍රියාත්මක කළ මෙරට පළමු සමාගම බවර් වූ අතර එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළේ ද අනෝජා බස්නායක වීම කැපීපෙනේ. එමෙන්ම ශ්‍රී ලංකා පරිගණක සංගමයේ 2023 ප්‍රථම ජාතික ප්‍රධාන තොරතුරු නිලධාරී ලැයිස්තුවට ද ඇගේ නම ඇතුළත් විය. 

2008 වසරේ දී තොරතුරු තාක්ෂණ කළමනාකාරිනියක ලෙස බවර් සමාගමට සම්බන්ධ වීමට පෙර, අනෝජා බ්‍රැන්ඩික්ස්, PricewaterhouseCoopers සහ හේලීස් වැනි ප්‍රමුඛ සමාගම් රැසක සේවය කළාය. ඇය මේ වනවිට  ඇමරිකා එක්සත් ජනපදයේ කොළඹ ශාඛාවට අනුබද්ධිත ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ වෘත්තීය සංවර්ධන උප සභාපතිනිය ලෙස ද සේවය කරයි. ඇය සහතිකලත් ව්‍යාපෘති කළමනාකරණ වෘත්තිකයෙකු (PMP) සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) සාමාජිකාවක් වන අතර එහි නවෝත්පාදන හා තාක්ෂණ කමිටුවේ සාමාජිකාවක් ද වේ.


Share with your friend
Exit mobile version