බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් වෙතින් විලාසිතා, ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් 

Share with your friend

ඡායාරූපය (වමේ සිට) – බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන ඉගෙනුම් නිලධාරී ආචාර්ය රෝලන්ඩ් බී. ස්මිත්, බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි DATM ප්‍රධානී නිලන්ති ගමගේ, බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන, බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් (Essentials) හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් (Lingerie) හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් මලලසේකර 

2022 නොවැම්බර් , කොළඹ: බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි අනුබද්ධ සමාගමක් වන බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් අධ්‍යාපන ආයතනය, සිය ප්‍රමුඛතම අධ්‍යයන පාඨමාලාව ලෙස ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට පෙරද බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් විසින් ඇඟලුම් හා විලාසිතා පිළිබඳ පාඨමාලා කිහිපයක්ම හඳුන්වා දෙන ලද අතර, මෙම නව පාඨමාලාවද ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතින කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තය වෘත්තීය වශයෙන් ජයගැනීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ, ලොව ඇඟලුම් ක්ෂේත්‍රය සහ එහි නවතම ප්‍රවණතා සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති ප්‍රවීණයන් පිරිසක් විසිනි. ක්ෂේත්‍රයේ වෙනස්කම් අනුව අඛණ්ඩව මෙය යාවත්කාලීන කිරීමටද ඔවුන් කටයුතු කරනු ඇත. 

අධ්‍යාපන පසුබිම කුමක් වුවද, උසස් පෙළ විභාගයෙන් විෂයන් දෙකක් සමත් ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. වසර දෙකක් පුරා දිවෙන මෙම පාඨමාලාව, පළමු වසරේදී පූර්ණකාලීන වශයෙන්ද, දෙවැනි වසරේදී අර්ධකාලීන වශයෙන්ද හැදෑරිය යුතු ය. මෙම කාලය තුළ සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රය ආවරණය වන පරිදි සැලසුම් කළ පාඨමාලා මොඩියුල 22 ක් හැදෑරීමෙන් අනතුරුව සිසු සිසුවියන්ට ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා සුදුසුකම් හිමිකරගත හැකි වේ. 

මෙම පාඨමාලාවට බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි මවු සමාගම වන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි දායකත්වය ලැබෙන නිසා, පාඨමාලාව හදාරන්නන්ට ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත.  මේ සඳහා දෙපාර්ශවය විසින් මෑතකදී අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තබන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ ආකාරයේ අනෙකුත් පාඨමාලා වලින් නොලැබෙන ආකාරයට, බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා තුළ සති 44 ක ප්‍රායෝගික පුහුණුවක් ලැබීමට සිසු සිසුවියන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. මෙම කාලය තුළ විවිධ කර්මාන්තශාලා වල එකිනෙකට වෙනස් අංශ තුළ පුහුණුව ලැබීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන නිසා, ඇඟලුම් කර්මාන්තයේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලැබෙනු ඇත. මෙවැනි මිලකළ නොහැකි අත්දැකීම්, කෙනෙකුට තම වෘත්තීය ජීවිතය පුරාම වැදගත් වේ. 

අනෙකුත් මෙවැනි පාඨමාලා වලට සාපේක්ෂව මෙම පාඨමාලාව මගින් ලැබෙන ප්‍රධානතම වාසිය වන්නේ, බ්‍රැන්ඩික්ස් සමූහය වැනි ඉහළම පෙළේ ඇඟලුම් සමූහ ව්‍යාපාරයක් තුළ සීමාවාසික පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීමයි. පාඨමාලාවට අදාළ වන නියමයන්ට යටත්ව, එම කර්මාන්ත ශාලාවල විවිධ අංශයන් තුළ පුහුණව ලැබීමට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීමටද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත. මෙවැනි සුවිශේෂී සීමාවාසික පුහුණු අවස්ථාවක් ලබාදෙන්නේ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් මගින් පිරිනමනු ලබන මෙම පාඨමාලාව මගින් පමණි. මෙම පුහුණුව හා පළපුරුද්ද සමග ඉහළ දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ට අනාගතයේදී නිසැකවම ඉහළ තලයේ පූර්ණකාලීන රැකියා අවස්ථාවන් හිමිවනු ඇත. 

මෙහි සමස්ත පාඨමාලාව සඳහා අයකෙරෙනුයේ රු. 665,000/- ක සහනදායී ගාස්තුවකි. මෙම ගාස්තුවෙන් 45%  ක් සීමාවාසික පුහුණුවේ මාස 12 ක කාලය තුළ නැවත උපයා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ. පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම 2022 නොවැම්බර් 21 දින සිට සිදුවන අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන මෙන්  බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් ආරාධනා කර සිටී. 077 044 4401 WhatsApp අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ. 

බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් ආයතනය 1996 වසරේ සිටම පුරෝගාමී ඇඟලුම් තාක්ෂණ පාඨමාලා පිරිනමා ඇති අතර, ඒ ඔස්සේ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වෘත්තිකයන් රාශියක් බිහිකර තිබේ. එම ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේ සිසු සිසුවියන්ට ඇඟලුම් කර්මාන්තය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා අවස්ථාව උදාකර දීම ය. ඒ සඳහා එම ආයතනය රෙදිපිළි තාක්ෂණයේ සිට වෙළඳ භාණ්ඩකරණය, උසස් පැටර්න් නිර්මාණය, නිෂ්පාදන කළමනාකරණය සහ යන්ත්‍රසූත්‍ර පුහුණුව යනාදී අංශ ආවරණය කෙරෙන පාඨමාලා 100 කට වැඩි සංඛ්‍යාවක් පිරිනමයි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply