Site icon Eyeview Sri Lanka

මවුන්ට් ලෝටස් රෝහල වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ග්ලුකෝමා ප්‍රතිකාර සඳහා SLT ලේසර් තාක්ෂණය

Share with your friend

අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල, ග්ලුකෝමා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ පළමු වරට Selective Laser Trabeculoplasty (SLT) තාක්ෂණය එළිදක්වමින් අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරයි. මෙරට අක්ෂි සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය උසස් මට්ටමකට ගෙන එමින් නව්‍ය තාක්ෂණය නිරන්තරයෙන් හඳුන්වාදීමට මවුන්ට් ලෝටස් රෝහල දරන උත්සාහය මෙමඟින් තවත් තහවුරු වෙයි.   

ග්ලූකෝමා යනු ඇස සහ මොළය සම්බන්ධ කරන දෘෂ්ටි ස්නායුවට හානි කර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන, පරිහානීය දෘෂ්ටි ස්නායු ආබාධයකි. අන්ධභාවයට දෙවන ප්‍රධාන හේතුව ග්ලුකෝමා වන අතර එය ආපසු යථා තත්ත්වයට පත්කළ නොහැකි අක්‍ෂි දෝෂයකි.  ග්ලුකෝමා රෝගය කලින් හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් පෙනීම නැති විය හැක. එබැවින් මුල් අවධියේදීම ග්ලුකෝමා අක්ෂි පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වන අතර කල් ඇතිව රෝග විනිශ්චය කිරීම, සැලකිලිමත්ව අධීක්ෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම මගින් පෙනීම ආරක්ෂා කර ගැනීමට හැකිවේ. මෙතෙක් ග්ලූකෝමා රෝගය සඳහා සුලභව භාවිත කළ ප්‍රතිකාර ක්‍රමය වූයේ අක්ෂි දියරයි (අයිඩ්‍රොප්ස්). නමුත් මෙම නවීන ලේසර් ප්‍රතිකාරය ග්ලුකෝමා රෝගීන්ගේ දෛනික ඖෂධ අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස අඩු කරමින් ඇසේ අභ්‍යන්තර පීඩනය තනි ක්‍රියාවලියක් හරහා ඵලදායි ලෙස පාලනය කිරීමෙන් එය කළමනාකරණය කිරීමට උපකාරී වේ. මෙම ප්‍රතිකාර ක්‍රමය එක්සත් රාජධානියේ National Institute for Health and Care Excellence (NICE) හි නිර්දේශවලට අනුකූල වන අතර Chronic open-angle ග්ලුකෝමා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා මූලික ප්‍රතිකාරය ලෙස Selective Laser Trabeculoplasty (SLT) තාක්ෂණය භාවිත කළ හැක.

පළමු වරට මෙම ZEISS SLT තාක්ෂණය මවුන්ට් ලෝටස් රෝහලෙහි ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ග්ලුකෝමා පරීක්ෂණයට සහ ප්‍රතිකාර කිරීමට පෙර රෝගියාගේ දත්ත පිළිබඳ පුළුල් සමාලෝචනයක් සක්‍රීය කිරීම SLT ක්‍රියා පටිපාටි සඳහා පහසුකම් සැලසීම සහ රෝග විනිශ්චය දත්ත සහ ලේසර් ප්‍රතිකාර වාර්තා සඳහා ප්‍රවේශය ලබා දීම මඟින් සමස්ත ප්‍රතිකාර ක්‍රියාවලියම විධිමත් කිරීමට මෙම තාක්ෂණය උපකාරී වේ. ZEISS යනු සෞඛ්‍ය අංශයේ තාක්ෂණික විසඳුම් ලබාදෙන ප්‍රමුඛ පෙළේ ජර්මානු තාක්ෂණ ආයතනයකි. මෙම තාක්ෂණය මවුන්ට් ලෝටස් රෝහලෙහි ස්ථාපනය කරන ලද්දේ ZEISS සඳහා බලයලත් දේශීය නියෝජිතයා වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare විසිනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී බස්නායක මහතා ප්‍රකාශ කළේ, “ලොකයේ පවතින දියුණුම අක්ෂි සත්කාර තාක්ෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් අප ඉමහත් සතුටට පත්වනවා. ඒවාගේම මෙම Selective Laser Trabeculoplasty (SLT) තාක්ෂණයත් සමඟින් ග්ලුකෝමා ප්‍රතිකාරයේ ප්‍රමිතිය රෝහල තුළ පමණක් නොව මුළු ශ්‍රී ලංකාව තුළම ඉහළ නැංවීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. මෙම ක්‍රියා පටිපාටියට භාජනය වන රෝගීන්ට ග්ලුකෝමා සඳහා අක්ෂි බිංදු භාවිතයෙන් ඉවත් විය හැකි අතර එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වන බවට අප විශ්වාස කරනවා”.

අංක 102, ගාලු පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්,  මිත්‍රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ප්‍රතිකාර සේවාවන් රැසක් මවුන්ට් ලෝටස් රෝහල වෙතින් ලබා ගත හැකි වේ.


Share with your friend
Exit mobile version