2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle Faceහිදී පැවැත්විණි. සංචාරක අමාත්‍යශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (THASL) එම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් පයින්, SLTDA සභාපති බුද්ධික හේවාවසම්, SLITHM හා SLCB සභාපති ධීර හෙට්ටිආරච්චි, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ අධ්‍යක්ෂ – අන්තර්ජාතික සංවර්ධන සහ සහයෝගීතා – ජේමි මයාකි, ATEHM සභාපති නිහාල් මුහන්දිරම්, SLAITO උප සභාපති නිශාඩ් විජේතුංග සහ THASL සභාපති ශාන්තිකුමාර් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්විණි.

ATEHM සභාපති නිහාල් මුහන්දිරම් මහතා පිළිගැනීමේ කතාව කරමින් සංචාරක ක්ෂේත්‍රයේ නායකයන් බිහි කිරීමට කොළඹ විශ්ව විද්‍යාලය විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, ක්ෂේත්‍රයේ වර්ධනයට අධ්‍යාපනික හවුල්කාරිත්ව අත්‍යවශ්‍ය බවත් සඳහන් කළේය.
SLTDA සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ Travel Mart වැඩසටහන පසුගිය කාලය තුළ මෙරට සංචාරක කැලැන්ඩරයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් වූ බවයි. රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් සමග ශක්තිමත් සහයෝගිතා ඇති කර ගන්නා අතර නව්‍යකරණය සහ තිරසාර කර්මාන්ත පුරුදු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු කරන ලෙස ඔහු අදාළ පිරිසෙන් ඉල්ලීමක් කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ සේවා ගුණාත්මකභාවය සහ අමුත්තන්ට සුවිශේෂ අත්දැකීමක් සැපයීම තුළින් ශ්‍රී ලාංකික සන්නාමය තවත් ශක්තිමත් කළ යුතු බවයි.
ජේමි මයාකි මහතා සඳහන් කළේ තිරසාර සංචාරක කර්මාන්තයට අදාළ දකුණු ආසියානු කළාපීය නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාවට පැහැදිලි හැකියාවක් ඇති බවයි. ගෝලීය හවුල්කාරිත්ව තුළින් නව වෙළෙඳපොළ අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා උදා වනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් තරග කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වාභාවික සහ සංස්කෘතික සම්පත් විශාල රුකුලක් වන බවද ඔහු පැවසුවේය.
ඩේවිඩ් පයින් මහතා ප්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවේ අධ්‍යාපනය, ක්‍රීඩා සහ සංස්කෘතික අංග හැරුණු විට නවසීලන්තය ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වන අවස්ථා අතරින් ප්‍රධානම අවස්ථාවක් ලෙස සංචාරක කර්මාන්තය හැඳින්විය හැකි බවයි. අනෙකුත් ක්ෂේත්‍ර අඛණ්ඩව සංවර්ධනය කරන අතර විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගැනීමට නම් සංචාරක කර්මාන්තය නගා සිටුවීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාසවලදී මෙරටට පැමිණෙන නවසීලන්ත සංචාරකයින් සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේය. එය තිරසාරත්වය, ප්‍රජා සහභාගිත්වය සහ පරිසර ආරක්ෂණය ප්‍රවර්ධනය කරන මෙරට ජාතික සංචාරක ප්‍රතිපත්තිය සමග සමපාත වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ කුඩා පරිමාණයේ හෝටල්වල පටන් මහා පරිමාණ හෝටල් දක්වා ව්‍යාපෘති පිළිබඳව නවසීලන්ත ආයෝජකයන්ගෙන් ඇති ඉල්ලුමද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බවයි. කර්මාන්තයේ අනාගතය උදෙසා කුසලතාවලින් හෙබි තරුණ පරපුරක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. එහිදී පුහුණු, පර්යේෂණ සහ ධාරිතා ගොඩ නැගීම සඳහා සහාය වන කොළඹ විශ්ව විද්‍යාලය සිදු කරන කාර්යභාරය අගය කිරීමට ලක් විය. තරුණ දරුවන් අතර සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳව ඇති උනන්දුව අගය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. මෑතකදී සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවක් පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආගන්තුක කළමනාකරණ ක්ෂේත්‍රයට අදාළ දැනුම ලැබීමේදී තරුණ පරපුර තුළින් දැකිය හැකි නිර්මාණශීලීභාවය සහ කැපවීම ප්‍රශංසනීය බවයි. ශ්‍රී ලංකා රජය සංචාරක ක්ෂේත්‍රය සහ අධ්‍යාපනික ආයතන සමග සහයෝගයෙන් කටයුතු කරමින් ධනාත්මක වෙනසක් ඇති කළ යුතු බවද ඔහු පැවැසුවේය.
SLAITO හිටපු සභාපති නිශාඩ් විජේතුංග සඳහන් කළේ ගෝලීය අභියෝග මධ්‍යයේ වුවත් අභ්‍යන්තර සංචාරක මෙහෙයුම් ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් පෙන්වා ඇති බවයි. සේවා ගුණාත්මකභාවය රඳවා ගන්නා අතර නව තාක්ෂණය වැළඳ ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ආයෝජන තුළින් සංචාරක කර්මාන්තයේ දියුණුවට දායක වීමට රජය නිරන්තරයෙන් කටයුතු කරන බවයි. තරුණ දරුවන් දහස් ගණනකට රැකියා නිර්මාණය කිරීමට එම ක්ෂේත්‍රයට හැකියාව තිබෙන බවත්, අධ්‍යාපනය සහ රැකියාව අතර ඇති සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. උත්සවයේ වැඩ කටයුතුවලින් අනතුරුව ආරාධිතයෝ Colombo Travel Mart විවෘත කළහ. එයට සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන සමාගම් රැසක් සහභාගී වී සිටියේය.