Eyeview Sri Lanka

ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින කිරුළ, වවුනියාවේ නිවේතිකා රාසයියා දිනා ගනියි

Share with your friend

ශ්‍රී ලංකාවේ සොඳුරු දමිළ යුවතියන්ට රූප රාජිනී තරගාවලි සඳහා ජාත්‍යන්තර දොරගුළු විවර කරන, ‘ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින තරගාවලිය පසුගිය දා මහත් අභිමානවත් අන්දමින් කොළඹදී පැවැත්විණි. මරිනා බීච් හෝටලයේ පැවති මනරම් උත්සවයකදී, සුන්දරම දමිළ යුවතියන් රැසක් අභිබවමින් ‘ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින’ ලෙසින්, වව්නියාවේ නිවේතිකා රාසයියා විසින් කිරුළ දිනා ගනු ලැබිණි.

කිරුළ සඳහා ශ්‍රී ලංකාව පුරාම දමිළ යුවතියන්ගේ උද්යෝගිමත් සහභාගිත්වය හිමිවුණු ‘ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින 2023’ තරගාවලියේ මූලික වටයේ තරග, මඩකලපුවේදී පැවැත්විණි. දෙවැනි හා තෙවැනි වට වවුනියාවේ දී හා යාපනයේදී පැවති අතර, එම වට දෙකෙන්ම තේරී පත් වුණු සොඳුරු යුවතියෝ, කොළඹ ග්ලෝබල් ටවර් හෝටලයේ දී අවසන් පූර්ව වටයට මුහුණ දුන්හ. ඉකුත්දා කොළඹ මරිනා බීච් හෝටලයේදී උණුසුම් අන්දමින් පැවති අවසන් තරගයේදී, මාතලේ ඓෂ්වර්යා යෝගරාජා ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින දෙවැනි ස්ථානයද, කොළඹ විදුර්ෂා චන්ද්‍රසේකර් තෙවැනි ස්ථානයටද තේරී පත්වූහ. 

ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින කිරුළ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකින් පැමිණි යුවතියන් 120 දෙනෙකු පළමු තරග වටය සඳහා තෝරා ගැනිණි. එනම්, යාපනය, කිලිනොච්චිය මුලතිව්, වවුනියාව, කෑගල්ල මහනුවර, මාතලේ හා නුවරඑළිය, රත්නපුර, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික් ආවරණය කරමින් මෙලෙස යුවතියන් පළමු වටය සඳහා තේරී පත් පත්ව සිටියහ. ඒ අනුව, යුවතියන් 30 දෙනෙකු ඒ සඳහා ඇතුළත් කර ගැනිණි. පළමු වටයේ තරඟ වලින් අනතුරුව, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් විසින් පවත්වනු ලැබූ පුහුණු සැසි මාලාවක් සඳහා සහභාගිවීමට එම යුවතියන් 30 දෙනාගෙන් දෙවැනි වටයට තේරුණු යුවතියන්ට අවස්ථාව හිමි විණි. ඒ අනුව, සොඳුරු දමිළ යුවතියන් 15 දෙනෙක් දෙවැනි වටයේ පුහුණු සැසි මාලාව සඳහා සහභාගි වූහ. දිව්‍යා සුජෙන්, ෂර්මිලා ධර්මේන්ද්‍ර, අනුෂා රාජ්මෝහන් සහ ප්‍රියා ශංකර් සමන්විත විනිශ්‍චය මණ්ඩලයක් මෙහි තරග විනිශ්ච කටයුතු සඳහා දායක විණි. අවසන් වටයට තේරුණු යුවතියන් මිස් ටොප් මොඩල්, මිස් පොපියුලැරිටි, මිස් ටැලන්ට්, මිස් ටොප් හෙයාර්, මිස් බෙස්ට් ස්කින්, මිස් බෙස්ට් කොන්ජිනි‍යැලිටි මෙන්ම, මිස් ෆිට්නස්, මිස් පර්සනැලිටි සහ මිස් ෆොටෝජෙනික් ලෙසින් වෙන් වෙන් තරග අංශ යටතේ ජයග්‍රහණ දිනා ගැනීමට තෝරා ගනු ලැබිණි. 

සාර්ථක රූප රැජිනි තරගාවලියකින් අනතුරුව ඒ  පිළිබඳව අදහස් දැක්වූ, උත්සවය සංවිධානය කළ Can Lanka (Pvt) Ltd හි නිර්මාතෘ කරන් කයිලායාර් මහතා මෙලෙස සඳහන් කළේය.  “ශ්‍රී ලංකාව පුරාම දමිළ යුවතියන් සිය ගණනක් සහභාගි කරගෙන ‘ශ්‍රී ලංකා දමිළ විශ්වරූ රැජින’ තරගාවලිය සාර්ථකව පැවැත්වීමට හැකිවීම අපට සතුටක්. ඒ වගේම සෑම  වටයකදීම ප්‍රේක්ෂකයින්ගේ උද්යෝගිමත් සහභාගිත්වය ලබා ගනිමින්, මෙම තරඟය පැවැත්වීමට හැකිවීමත් මහත් ආඩම්බරයට කාරණයක්. විශේෂයෙන්ම අවසන් මහා තරගයේදී ප්‍රේක්ෂක උද්යෝගය විශාල වශයෙන් අපි දැක්කා. මෙය මේ ආකාරයෙන් සාර්ථකව පැවැත්වීමට හැකි වුණේ, උප සභාපති, අකිල බාස්කරන්, වැඩසටහන් අධ්‍යක්ෂ ඩබ්. විජේන්ද්‍රන්, ජාතික අධ්‍යක්ෂ මාන් විළි සහ නර්තන ශිල්පී ටයිමරන් කාර්වාලෝ ඇතුළු කණ්ඩායම දැක්වූ සුවිශාල මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටයි. මේ වැඩසටහන දමිළ භාෂාවෙන් ප්‍රසන්න පද්මනාදන් හා ඉංග්‍රීසි භාෂාවෙන් ගම්‍යා විජේදාස හරි ලස්සනට මෙහෙය වූවා.” යනුවෙන් හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකා දමිළ විශ්ව රූ රැජින තරගය සාර්ථක අන්දමින්  පවත්වමින්, මනරම් සන්ධ්‍යාවක ශ්‍රී ලංකා දමිළ විශ්වරූ රැජිණ කිරුළ හිමි සොඳුරු දමිළ යුවතිය තේරීමේ සමස්ත කර්තව්‍යය පිටිපස සිටි වැඩසටහන් අධ්‍යක්ෂවරයා වූයේ ඩබ්ලිව්.විජේන්ද්‍රන් ය. 

එමෙන්ම, මෙම මාහැඟි සොඳුරු කර්තව්‍යය සමඟින් අත්වැල් බැඳ ගනිමින්, පාර්ශව ගණනාවක් ඊට සහාය ලබාදී තිබිණි. ඒඩ්‍රියන් සෝලා ග්‍රීන්, Aetram සමාගම් සමූහය,  ඒඩ්රියන් සමූහ ව්‍යාපාරය, හර්බමූන් බියුටි, RM Movies, කනිෂ්ක සඟබෝ ඩයස්ගේ Shringaar Exclusive Designer Wear, මංජු ලෝගේස්, ප්‍රේමීස් බ්‍රයිඩ් ඇන්ඩ් බියුටි සැලෝන්, KS කොස්මැටික්ස් හා Little එලෙසින් සහයෝගය දැක්වූ අතර, ඒෂියා එම්පෝරියම්, ජෝයි ග්ලෝරියස්, වෙඩින් ටෝක්ස් සඟරාව, NAQ ෆිට්නස්, Myrus ග්ලෝබල් සහ Naadi යන ආයතන වෙතින්ද ඊට නොමඳ සහයක් හිමිවී තිබිණි. මෙම කර්තව්‍යයේ මාධ්‍ය අනුග්‍රහය සහ ආවරණය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන වීරසේකරි සමගින් ආතවන් ටීවී සහ ටැමිල් එෆ්.එම් විසින් සලසා දී තිබිණි. 


Share with your friend
Exit mobile version