Eyeview Sri Lanka

සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මානයෙන් පිදුම් ලබයි

Share with your friend

ප්‍රවීණ සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා කැස්බෑව සාහිත්‍ය අභිමන් සම්මාන උළෙලේදී සුවිශේෂ ඇගැයීමකට ලක් විය. කැස්බෑව නගර සභා රංග ශාලාවේදී සම්මාන උළෙල පැවැත්විණි. එහිදී කළා ශිල්පීහු රැසක් ඇගැයීමට ලක් වූහ. වීරසිංහ පීරිස් මහතා ළමා ගීත 16ක් ඇතුළත් සංයුක්ත තැටියක් මීට වසර දොළහකට පමණ පෙර එළි දක්වා තිබේ. එය නම් කර තිබුණේ පුංචි පුංචි තරු යනුවෙනි. සිංහල, දමිළ, ඉංග්‍රීසි සහ වැදි භාෂාවලින් එම ගීත සමන්විත විය. ගී පද රචනය, තනු නිර්මාණය, සංගීතය සහ නිෂ්පාදනය කරනු ලැබුවේ වීරසිංහ මහතා විසිනි. සංගීත සංයෝජනය සහ නාද ශික්‍ෂණය කරනු ලැබුවේ ආචාර්ය ප්‍රභාත් පිරිස් මහතා විසිනි. පුංචි පුංචි තරු ළමා ගීත සංයුක්ත තැටියේ අඩංගු වූ තොප්පි වෙළෙන්දා ගීතය අන්තර්ජාලයේ මිලියන 38කට වඩා නරඹා ඇත. අපි පුංචි පුංචි තරු වගේ, මගේ නංගි බෝනික්කෙක්, යකඩ යකා වැනි ගීත ඉතා ජනප්‍රිය විය.

 එම ගීත ජනප්‍රිය වීමත් සමග වීරසිංහ මහතාගේ යූ ටියුබ් නාලිකාවේ ග්‍රාහකයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ඔහුට සිල්වර් බට්න් සම්මානයද හිමි විය. මධ්‍යම අප්‍රිකාවේ ටැන්සානියා, සැම්බියා හා මොසැම්බික් යන රටවලට මැදි වී පිහිටි මලාවී රාජ්‍යයේ වීරසිංහ මහතා සහ පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටියදී එම රටේ ජාතික භාෂාව වන චිචේවා භාෂාවෙන් අප්‍රිකානු සංගීත ආරයේ ගීත ගායනා කර ඇත. එම ගීතවල පද රචනය හා තනු නිර්මාණය කරනු ලැබ ඇත්තේ ඔහු විසිනි. මලාවී බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් ගුවන් විදුලියේ එම ගීත ප්‍රචාරය වූ අතර පසුව එම ගීත අඩංගු කැසට් පටයක් නිකුත් කර ඇත. ආචාර්ය ප්‍රභාත් පීරිස් සහ ආචාර්ය නිෂාන් පීරිස් යන පුතුන් දෙදෙනාද සංගීතයෙන් හා ගායනයෙන් ඊට දායක වී ඇත. එහි චිචේවා භාෂාවෙන් ගයන ලද ගීත ගණන 16කි.


Share with your friend
Exit mobile version