Eyeview Sri Lanka

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ලෝක ළමා දින සැමරුම, දිගන පුනරුත්ථාපන රෝහලේ දරුවන්ගේ සහභාගීත්වයෙන් 

Share with your friend

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් පුද්ගලික සමාගමේ සාඩම්බර තේමාව වූ දේශය පෝෂණය කිරීමේ මෙහෙවරේ තවත් එක් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, ප්‍රජාවන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිව මෙවර ලෝක ළමා දින සැමරුම, දිගන පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. 

සෑම දරුවෙකුටම සමාජීය වටිනාකමක්, අගය කිරීමක් හා සහයෝගයක් හිමි විය යුතු බව සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමාගමේ විශ්වාසයයි. ලෝක ළමා දිනය සමරමින් දරුවන්ගේ ධෛර්යය හා සතුට අගයන්නටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සතුට බෙදාහදා ගන්නටත් අවස්ථාවක් සලසා දෙන්නට සමාගම කටයුතු කළේය. 

සැමරුම් උත්සවය කෙන්ගල්ල මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, ප්‍රතිකාර ලබන දරුවන්ගේ නිර්මාණශීලීත්වය හා හැකියාවන් අගය කිරීම සඳහා විශේෂාංග රැසකින් සමන්විත විය. ලෝක ළමා දිනය සැමරීම තුළින් සංකේතවත් කරන එකමුතුකම සහ මිත්‍රශීලී බව ඉස්මතු කරන වැඩසටහනක් වූ මෙය, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපිය සහයෝගය ඇතිව සංවිධාන කර තිබිණ. 

වැඩසටහනේ අංගයක් ලෙස, දරුවන්ගේ සුවිශේෂී හැකියාවන් එළිදැක්වූ ප්‍රසංගයක් ද පවත්වන ලද අතර, විවිධ ඉදිරිපත් කිරීම් හා ක්‍රියාකාරකම් දරුවන් විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම මෙය, සෑම දරුවෙකු තුළම අසීමිත හැකියාවන් ඇති බව තහවුරු කළ විශේෂාංගයක් විය. තවද, ළමා දින සැමරුමේ සිහිවටන තිළිණයක් ලෙස සෑම දරුවෙකුටම පාසැල් බෑගයක් ලබා දෙන්නට ද සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය කටයුතු කරනු ලැබීය. 

වෛද්‍ය ප්‍රියංක කුමාරසිංහ, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, පළාත් අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා, මධ්‍යම පළාත, වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, කායික වෛද්‍ය උපදේශක හා ළමා වෛද්‍ය උපදේශිකා වෛද්‍ය රන්දිනී විජේවර්ධන ඇතුළු පුනරුත්ථාපන රෝහල් වෛද්‍ය කණ්ඩායමේ සහයෝගය ද මෙම වැඩසටහන සඳහා නොමඳව හිමි විය.  

මෙම සුවිශේෂී ළමා දින සැමරුම් උත්සවය තුළින් සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමාගමේ සමාජ වගකීම් පිළිබඳ කැපවීම ඉස්මතු කෙරුණු අතර, හුදු ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, ජීවිත සුපෝෂණය කරන්නටත්, ශ්‍රී ලාංකික දරු පරපුරේ අනාගතය වෙනුවෙන් ඵලදායී දායකත්වයක් ලබා දෙන්නටත් මෙම වැඩසටහන ඉවහල් විය.


Share with your friend
Exit mobile version