හේමාස් සමූහය යාපනය ප්‍රදේශයේ ප්ලාස්ටික් දූෂණය මැඩලීමට ‘ක්ලීන් ඕෂන් ෆෝර්ස්’ සමග එක්වෙයි

Share with your friend

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සමාගම, යාපනය ප්‍රදේශයේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා ක්ලීන් ඕෂන් ෆෝර්ස් (Clean Ocean Force) සමග පසුගියදා අත්වැල් බැඳගත්තේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්ලාස්ටික් දූෂණයට ලක් වූ ධීවර ජැටිය වන ගුරුනගර් සහ, දිවයිනේ උතුරු කෙළවර ලෙස සැලකෙන පේදුරු තුඩුවේ වෙරළ තීරය පිරිසිදු කිරීමට සැලසුම් කර තිබේ. 

උතුරු පළාතේ දිනපතා පිරිසිදු කිරීම් සිදුකරන අතරම එම පළාතේ ජලාශ වලට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීම ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානයේ අරමුණ වන අතර, ඒ සඳහා ඔවුන් සමග අත්වැල් බැඳගත් ප්‍රථම පෞද්ගලික සමාගම වන්නේ හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී සමාගමයි. මෙහි පළමු අදියර යටතේ, යන්ත්‍රසූත්‍ර සහ මිනිස් ශ්‍රමය භාවිතා කරමින්, යාපනය කලපුවේ ජලය මතුපිට සහ පතුලෙහි රැඳී ඇති ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ප්‍රදේශවාසී ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනෙන අතර, එමගින් යාපනය ප්‍රදේශය ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් තොර ප්‍රදේශයක් බවට පත්කරන අතරම ආදායමක් උපයා ගැනීමටද ප්‍රදේශවාසීන්ට අවස්ථාව ලැබෙනු ඇත. 

යාපනය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පුළුල් වෙමින් පවතින පසුබිමක් තුළ, ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය මේ වනවිට දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. යාපනය අර්ධද්වීපයේ සාගර පරිසර පද්ධතිවල පැවැත්මට අතිශයින් වැදගත් ස්ථානයක් වන යාපනය කලපුවට මෙම ගැටලුව දරුණු ලෙස බලපා ඇත. එමෙන්ම ගුරුනගර්, පසයියූර් සහ කච්චායි වැනි ධීවර ජැටියන්ද මේ වනවිට විවිධ ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග නිසා දරුණු පරිසර දූෂණයකට ලක් වී තිබේ. මෙය ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට මෙන්ම, ප්‍රදේශයට ආවේණික ජීවීන් ඇතුළුව සාගර ජීවීන්ගේ පැවැත්මටද බරපතළ තර්ජනයක් එල්ල කර ඇත. 

ක්ලීන් ඕෂන් ෆෝර්ස් සංවිධානය මේ වනවිට උතුරු පළාත් සභාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සමග ත්‍රයිපාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ නිරීක්ෂණයටද ලක් වේ. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසියේ පාරිසරික අංශය, උතුරු පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍රීය හා සංචාරක අංශය සහ තවත් ස්වේච්ඡා සංවිධාන රාශියක්ද මෙම ව්‍යාපෘතිය සමග එක් වී සිටී. 

Hemas Holdings පිළිබඳව 

 ‘පවුල් වලට නිරෝගීව ජීවත් වීමට අත්වැලක් වීම’ යන මූලික අරමුණ පෙරදැරිව, 1948 වසරේදී හේමාස් සමාගම ආරම්භ විය. මෙම සරල විශ්වාසය, පසුගිය වසර 70 ක කාලය පුරා එම සමාගමේ වර්ධනයට පාදක වී තිබේ. වර්තමානයේදී හේමාස් සමාගම තම පාරිභෝගික සන්නාම, සෞඛ්‍ය සේවා හා ප්‍රවාහන විසඳුම් සමගින් එම මෙහෙවර යළි යළිත් ඉටුකරමින් සිටී. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රීය සාමාජිකයෙකු වන හේමාස් සමාගම මේ වනවිට බංග්ලාදේශය සහ මියන්මාරය යන රටවලටද තම මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර තිබේ. ඉදිරියේදීත් විවිධත්වයෙන් සපිරි හා උද්යෝගීමත් මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කරමින්, අර්ථවත් නිෂ්පාදන හා සේවාවන් හඳුන්වා දෙමින්, විශ්වාසනීය සම්බන්ධතා නිර්මාණය කරගනිමින්, වඩාත් අන්තර්කරණය වූ ලෝකයක පුරෝගාමීන් බවට පත්වෙමින්, තම සියලුම හවුල්කරුවන් වෙනුවෙන් සාධනීය වූ ප්‍රතිලාභ අත්කර දීම සමාගමේ පරමාර්ථය වී ඇත.

ක්ලීන් ඕෂන් ෆෝර්ස් පිළිබඳව

‘ක්ලීන් ඕෂන් ෆෝර්ස්’ යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්ගෙන් ප්ලාස්ටික් ඇතුළුව මිනිසුන් විසින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය සහ සුන්බුන් ඉවත් කිරීම සිදුකරන, ලාභ නොලබන සංවිධානයකි. 

ක්ලීන් ඕෂන් ෆෝර්ස් හි සභාපති ජෙරම් ෆර්නෑන්ඩු

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන්


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply