ශ්‍රී ලංකාවේ පිළිගත් ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපනික ආයතනයක් වන, APIIT Sri Lanka ආයතනයේ The Catalyst මාධ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාල කෙටි චිත්‍රපට උළෙල, Kagura 2026 මැයෙන් මෙවර තුන්වැනි වතාවට පවත්වනු ලැබේ. එහි නිල උළෙල සමාරම්භක උත්සවය හා මාධ්‍ය හමුව පසුගියදා Access Towers හි පිහිටි APIIT Foundation පරිශ්‍රයේදී පැවැත්විණි.



‘Kagura 2026’ අන්තර් විශ්ව විද්‍යාල කෙටි චිත්‍රපට උළෙල වාර්ෂිකව පැවැත්වෙන්නේ, තරුණ චිත්‍රපට නිර්මාණ ශිල්පීන්ට තම නිර්මාණශීලිත්වය විදහා දැක්විය හැකි තෝතැන්නක් ලෙසිනි. සිය නිර්මාණශීලිත්වය විදහා දැක්වෙන, අභියෝගාත්මක සමාජයීය තේමාවන් කෙටි චිත්‍රපට හරහා ඉදිරිපත් කිරීමට එම උළෙලේදී ඔවුන්ට ඉඩකඩ සැලසේ. කෙටි චිත්‍රපට සඳහා මෙවර තේමාව වී ඇත්තේ, “අප තෙපලන මුසාබස්” (The Lies We Tell) යන්නයි. ඒ යටතේ, මානුෂීය අත්දැකීම් මෙන්ම සමාජය හැඩගස්වන, සැබෑවේ සහ ව්‍යාජයේ සංකීර්ණ ස්වභාවය සිනමාත්මකව ඉදිරිපත් කිරීමට තරුණ කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ට ආරාධනා කෙරේ. එහිදී, සිනාමත්මක මෙවලම් භාවිතයෙන් යථාර්ථය ප්‍රශ්න කිරීමට ඔවුන්ට ඉඩකඩ පවතින අතර, තම සිනමා වෑයම තුළින් සැඟවුණු සත්‍යයන් හෙළිදරවු කිරීමටත්, අපගේ විශ්වාස විදහා දැක්වෙන කතා සිනමාත්මක භාෂාවෙන් ඉදිරිපත් කිරීමටත් ඔවුන් දිරිමත් කෙරේ.
මෙම කෙටි චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිදෙන සම්මාන හා කුසලාන නිල වශයෙන් එළිදැක්වීමද මෙම සමාරම්භක උළෙලේදී සිදුකෙරිණි. එමගින් මෙම කෙටි චිත්‍රපට උළෙල හරහා සිනමාත්මක විශිෂ්ටත්වය සැමරීම උදෙසා දක්වන කැපවීම විදහා දැක්වෙන අතර, මෙය නිර්මාණශීලීත්වයේ හා සහයෝගිතාවයේ උළෙලක් බවට පත්කරන Kagura සංවිධායක මණ්ඩලයද එහිදී නිල වශයෙන් හඳුන්වාදෙනු ලැබිණි. ඉකුත් වසරේ ඉහළම සාර්ථකත්වයක් සමගින්, AMDT, SLTC, Curtin Colombo ඇතුළු විශ්වවිද්‍යාල වලින් ඉදිරිපත් කෙරුණු නිර්මාණවලින් අවසන් වටයට තේරී පත් වුණු කෙටි චිත්‍රපට නවයකට වැඩි සංඛ්‍යාවක් සමගින්, 2025 චිත්‍රපට උළෙලේදී අත්කර ගත් සාර්ථකත්වය මෙවර උළෙල සඳහා පදනම බවට පත්ව තිබේ. ඒ අනුව, මෙවර කෙටි චිත්‍රපට උළෙල සඳහා දිවයින පුරාම විශ්ව විද්‍යාල රැසකින් නිර්මාණ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, මෙම උළෙල සාර්ථකව පැවැත්වීම සඳහා සිය අනුපමේය දායකත්වය ලබාදෙන අනුග්‍රාහක ආයතන මෙන්ම මෙම උළෙල හා අත්වැල් බැඳගත් ආයතන අගයමින් ඔවුන් වෙත උපහාර පුද කිරීමද ඉකුත්දා පැවති සමාරම්භක උත්සවයේදී සිදුකෙරිණි.
APIIT Sri Lanka Catalyst මාධ්‍ය සංගමයේ ව්‍යාපෘති සභාපති ශෙවාන් ගෝමස් මහතා මෙම කෙටි චිත්‍රපට උළෙල පිළිබඳව සිය අදහස් දක්වමින් පවසා සිටියේ සත්‍යය හා ව්‍යාජය පිළිබඳව, තරුණ චිත්‍රපට නිර්මාණකරුවන්ගේ දෘෂ්ටි කෝණයන් අනුව නිරූපණය කෙරෙන, Kagura අන්තර් විශ්වවිද්‍යාල චිත්‍රපට උළෙල තුන්වැනි වතාවටත් පැවැත්වීමට ලැබීම අපට සතුටට කාරණයක් බවත්, මෙම කෙටි චිත්‍රපට උළෙල, චිත්‍රපටය නිර්මාණාත්මක ප්‍රකාශන මාධ්‍යයක් ලෙස භාවිත කරමින්, ඔවුන්ගේ සමාජ මතවාදය ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල සිසුන් දිරිමත් කෙරෙන අගනා වේදිකාවක් බවත්, එය තරුණ නිර්මාණකරුවන් අතර සහයෝගීතාව, නවෝත්පාදන හැකියාව මෙන්ම ඔවුන් සතු සිනමාත්මක විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමටත් හැකි අගනා අවකාශයක් බවත්, මෙම කෙටි චිත්‍රපට උළෙලට විශ්වවිද්‍යාල ගණනාවක දක්ෂ තරුණ කෙටි චිත්‍රපටකරුවන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වය හිමිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්ය.
මෙම අන්තර් විශ්ව විද්‍යාල කෙටි චිත්‍රපට උළෙලට සහභාගී වීමට කැමති නිර්මාණකරුවන්ට, අයදුම්පත් යොමු කිරීම සම්බන්ධ විස්තර සහ උළෙලේ තොරතුරු පිළිබඳව දැන ගැනීම සඳහා සමාජ මාධ්‍ය තුල @kagura.lk වෙත පිවිසිය හැකිය.
1999 දී ආරම්භ කරන ලද APIIT Sri Lanka ආයතනය, එක්සත් රාජධානියේ University of Staffordshire සහ මැලේසියාවේ Asia Pacific University of Technology and Innovation හා අත්වැල් බැඳ ගනිමින් පිහිටුවන ලද මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයකි. එමගින් Business, Computing, Law, Psychology, Engineering and Bio-Medical Science යන විෂය ක්ෂේත්‍රයන්ට අදාළව, බ්‍රිතාන්‍යයේ University of Staffordshire අනුමත උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමයි. වසරකට 1000 කට අධික සිසු පිරිසක් බඳවා ගන්නා අතර, 3,500 කට ආසන්න සිසුන් සංඛ්‍යාවකින් සමන්විත APIIT Sri Lanka ආයතනය, විදේශීය උපාධි පාඨමාලා පිරිනමන මෙරට විශාලතම උසස් අධ්‍යාපන ආයතනවලින් එකක් බවට පත්ව තිබේ. ඉකුත් වසර 25 තුළ ක්ෂේත්‍ර රැසකින්, දෙස් විදෙස් සාර්ථක උපාධිධාරී වෘත්තිකයින් 6,000ක් පමණ පිරිසක් ශ්‍රී ලංකාවට දායාද කිරීමටද මෙම ආයතනය සමත්ව තිබේ.





