Eyeview Sri Lanka

British Council ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස නිමාව දකී 

Share with your friend

British Council Sri Lanka විසින් 2024 ජාත්‍යන්තර ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිනය වන අද දින ඔවුන් විසින් ක්‍රියාවට නැංවූ ‘Youth-Led Green and Inclusive Businesses’ වැඩසටහනේ නියමු අදියර සාර්ථක ලෙස අවසන් කෙරිණි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පත්කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා, සම්පත් සහ සම්බන්ධතා තරුණ ව්‍යවසායකයන් වෙත ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ විය. 

මෙම අදියරේ සමාප්තිය වෙනුවෙන් ‘Pathways to Sustainability: Entrepreneur’s Showcase’ යන තේමාව යටතේ විශේෂ උත්සවයක් පැවැත්විණි. එහිදී තම ව්‍යාපාර වඩාත් පරිසර හිතකාමී සහ අන්තර්කරණය වූ ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා තමන් විසින් ගන්නා ලද පියවර මොනවාද යන්න පැහැදිලි කිරීමට මෙන්ම, වෙනත් ප්‍රධාන පෙළේ පාර්ශ්වකරුවන් සමගද සම්බන්ධ වෙමින් පොදු අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායක ව්‍යවසායිකාවන් 30 දෙනෙකුට අවස්ථාව උදා විය. ‘Green Movement of Sri Lanka’ සහ ‘Lanka Social Ventures’ යන දේශීය සංවිධාන මෙම වැඩසටහන සඳහා British Council සමග එක්ව කටයුතු කළහ. 

“අනාගතය රැඳී ඇත්තේ තරුණ පරපුරේ දෑත් මත බව අප විශ්වාස කරනවා. ඔවුන් හුදෙක් හෙට දවසේ නායකයන් පමණක් නොවෙයි. ඔවුන් දැනටමත් ලෝකයට සැලකිය යුතු යහපතක් සිදුකරමින් සිටිනවා. තිරසාරත්වය වැනි තීරණාත්මක විෂයන් ආමන්ත්‍රණය කරමින්, දේශගුණ විපර්යාස මගින් ඇතිවන බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ලොව පුරාම තරුණ තරුණියන්ට අත්වැලක් වීමටත්, ඒ සඳහා ඔවුන් සවිබල ගැන්වීමටත් අප කැප වී සිටිනවා.” British Council Sri Lanka හි අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය. 

මෙහිදී ප්‍රධාන දේශනය සිදුකළ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, ජාතික සංවර්ධනය සහ තිරසාර සංවර්ධන අරමුණු (Sustainable Development Goals – SDGs) ළඟා කරගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශය ඉටුකරන භූමිකාව පිළිබඳව අදහස් දැක්වූවා ය. “වඩාත් පුළුල් සමාජයීය හා පාරිසරික බලපෑමක් ඇතිකරන ව්‍යාපාර ආකෘතීන් නිර්මාණය කරමින්, තිරසාර සංවර්ධන අරමුණු ළඟා කරගැනීම සඳහා වැදගත් දායකත්වයක් දැක්වීමට පෞද්ගලික සමාගම්වලට හැකියාව තිබෙනවා. British Council හි මෙම ප්‍රයත්නයන්, රටේ තිරසාර සංවර්ධනය උදෙසා වගකීම්සහගත සහ ආචාරධාර්මික ව්‍යවසායකත්ව සම්ප්‍රදායක් නිර්මාණය කිරීමට දායක වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”  චමින්ද්‍රි සපරමාදු මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය. 

එමෙන්ම මෙහිදී ස්කොට්ලන්තයේ වෙසෙන පරිසර හිතකාමී තරුණ ව්‍යවසායකයන් පිරිසක් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අත්දැකීම් හුවමාරු කරගැනීමටද  ශ්‍රී ලාංකික ව්‍යවසායක කණ්ඩායමට අවස්ථාව උදා විය. තිරසාර සංවර්ධනය අරමුණු කරගත් මෙබඳු සහයෝගීත්වයන් තුළින් තිරසාරත්ව ප්‍රයත්නයන් තවදුරටත් වැඩිදියුණු කරගැනීමටත්, පරිසර හිතකාමී සැලසුම් අඛණ්ඩව ක්‍රියාවට නැංවීම සඳහා උර දෙන තරුණ ව්‍යවසායක ජාලයක් නිර්මාණය කරගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. 

මෙම වැඩසටහන මගින්, තම ව්‍යාපාර ආර්ථික වශයෙන් දියුණු කරගන්නා අතරම පරිසර හිතකාමීත්වය සහ අන්තර්කරණය ප්‍රවර්ධනය කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මෙම තරුණ ව්‍යවසායක ව්‍යවසායිකාවන්ට අවස්ථාව උදා විය. තම ව්‍යාපාරයේ සෑම පියවරකදීම තිරසාරත්වය පවත්වා ගැනීම තුළින් ඔවුන්ට වඩාත් පරිසර හිතකාමී හා සමානාත්මතාව සහිත සමාජයක් නිර්මාණය කිරීම සඳහා දායක වීමට අවස්ථාව ලැබෙනු නිසැක ය. 

British Council පිළිබඳව 

British Council යනු යනු සංස්කෘතික සම්බන්ධතා සහ අධ්‍යාපන අවස්ථා සඳහා වන එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවිධානයයි. එක්සත් රාජධානිය සහ ලොව සෙසු රටවල් අතර සම්බන්ධතා, අවබෝධය සහ විශ්වාසය ගොඩනැංවීම තුළින් අපි සාමය සහ සමෘද්ධිය ඇතිකිරීම සඳහා සහය වන්නෙමු. කලාව හා සංස්කෘතිය, අධ්‍යපනය හා ඉංග්‍රීසි භාෂාව යනාදී අංශ හරහා මෙම අරමුණ සාක්ෂාත් කරගනු ලැබේ. අප රටවල් හා බලප්‍රදේශ 200 කට අධික සංඛ්‍යාවක ජනතාව සමග එක්ව කටයුතු කරන අතර, රටවල් 100 කට අධික සංඛ්‍යාවක අපගේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. 2022-23 කාලසීමාව තුළ අපගේ මෙහෙවර මගින් ආවරණය වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 600 ඉක්මවී ය. 

වැඩිදුර තොරතුරු සඳහා www.britishcouncil.lk වෙත පිවිසෙන්න. 


Share with your friend
Exit mobile version