Eyeview Sri Lanka

British Council ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදක්වයි 

Share with your friend

උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීමට සහ ආර්ථික වර්ධනය දිරිගැන්වීමට නිර්දේශ රැසක් ඉදිරිපත් කෙරේ. 

ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන පර්යේෂණ වාර්තාවක් British Council විසින් පසුගියදා එළිදක්වන ලදි. අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ අධ්‍යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මෙම වාර්තාව තුළ විශේෂ අවධානයක් යොමුකර තිබේ.   

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයකදී එම වාර්තාව එළිදක්වන ලදි. මෙම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාලවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “ශ්‍රී ලංකාව යනු ඉහළ සාක්ෂරතාවක් සහිත, මූලික අධ්‍යාපනය සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙන රටක් වුවද, උසස් අධ්‍යාපනයේ ධාරිතාව පුළුල් කිරීම තවමත් සැලකිය යුතු මට්ටමේ අභියෝගයක්ව පවතිනවා. 2022 වසරේදී විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 171,532 ක් අතරින් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණේ 44,000 කට පමණයි. මේ නිසා පෞද්ගලික විශ්ව විද්‍යාල සහ විදේශ අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතිනවා. පසුගිය වසර කිහිපය තුළ මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වී ඇති බව අපට දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මෙම ගැටලුව අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මෙම වාර්තාව උපකාරී වනු ඇතැයි කියා අප සිතනවා.”

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “මෙය දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් අප ඉටුකරමින් සිටින මෙහෙවරට තවත් උදාහරණයක්. මෙම කලාපය තුළ රජයන් සහ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳගෙන, විදේශ අධ්‍යාපන අවස්ථා සහ එහි ප්‍රමිතිය නංවාලීමටත්, ජාත්‍යන්තර සම්බන්ධතා සහ හවුල්කාරීත්වයන් නිර්මාණය කිරීමටත් අප පියවර ගනිමින් සිටිනවා. ශ්‍රී ලංකාව මේ වනවිට විදේශ අධ්‍යාපනයේ කේන්ද්‍රයක් බවට වේගයෙන් පත්වෙමින් සිටින රටක්. 2022-2023 කාලසීමාව තුළ එක්සත් රාජධානියේ විදේශ අධ්‍යාපනය සඳහා වැඩිම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් පැමිණි රටවල් අතරින් දෙවැනි ස්ථානය හිමි වුණේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 54,000 ක් මෙලෙස ලියාපදිංචි වී තිබෙනවා. මෙය 50% ක වර්ධනයක් මෙන්ම එක්සත් රාජධානියේ සමස්ත විදේශීය ශිෂ්‍ය ලියාපදිංචිවීම් වලින් 10% ක ප්‍රතිශතයක්.  උසස් අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් පවතින අඩුපාඩු අවම කිරීම සඳහා විදේශ අධ්‍යාපනය මගින් ඉටුවන මෙහෙවර සහ ඉන් රටේ ආර්ථික වර්ධනයට ලැබෙන දායකත්වය මෙම පර්යේෂණ වාර්තාව මගින් මැනැවින් පෙන්වා දී තිබෙනවා. තත්ත්වය සහතික කිරීම සහ නියාමන රාමු සැකසීම වැනි ප්‍රධාන අභියෝග ජයගත හැකි නම්, ශ්‍රී ලංකාවට විදේශ අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් ජාත්‍යන්තර තලයේ උසස් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීමට පුළුවන්.” 

British Council හි ඉල්ලීම පරිදි Times Higher Education මගින් මෙම වාර්තාව පිළියෙල කරන ලදි. එමගින් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශීය අධ්‍යාපන සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීමේ වැදගත්කම සහ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් තුළින් ලැබෙන ප්‍රතිලාභ අවධාරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එමගින් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර ඇත. එම නිර්දේශ අතරින් කිහිපයක් පහත දක්වා තිබේ. 

“British Council විසින් එළිදක්වන ලද මෙම වාර්තාව, ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි කියා මා විශ්වාස කරනවා. වාර්තාවේ සඳහන් කරුණු සහ නිර්දේශ සමීපව අධ්‍යයනය කරමින්, ඒවා ඔස්සේ අපගේ විදේශ අධ්‍යාපන ප්‍රතිපත්ති වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට අප බලාපොරොත්තු වෙනවා.” ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා පැවසී ය. 

පහත සබැඳිය මගින් සම්පූර්ණ වාර්තාව බාගත කළ හැක: 

https://www.britishcouncil.lk/programmes/education/comprehensive-report-transnational-education-sri-lanka


Share with your friend
Exit mobile version