ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල කිහිපයක් British Council Sri Lanka මගින් ක්‍රියාවට නංවනු ලබන විශ්ව විද්‍යාල තරුණ දේශගුණික තානාපති වැඩසටහනේ (University Youth Climate Ambassadors programme) සමාරම්භක අදියර සමග අත්වැල් බැඳගෙන සිටී. 2025 අගෝස්තු 11 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති උත්සවයකදී මෙහි ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. තරුණ පරපුරේ කුසලතා වැඩිදියුණු කිරීම සහ හවුල්කාරීත්වයන් හා සම්බන්ධතා ජාලයන් ගොඩනැංවීම තුළින් දේශගුණික වෙනස්කම්වලට ඔරොත්තු දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

වැඩසටහන දියත් කිරීම නිමිත්තේ පැවති උත්සවයට විශ්වවිද්‍යාල ශිෂ්‍යන්, විද්වතුන්, දේශගුණික ක්‍රියාකාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ British Council හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාවේ නියෝජ්‍ය උප සභාපති මහාචාර්ය වසන්ත කුමාර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, පරිසරය, දේශගුණික විපර්යාස සහ හරිත මූල්‍ය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්‍රි එහි විශේෂ ආරාධිතයා ලෙස සහභාගී විය. British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් සහ British Council හි අධ්‍යාපන හා කලා කටයුතු පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය ෆාරා ඇල්ටන්බර්ග් මෙහිදී අදහස් දැක්වූහ.
මෙම වැඩසටහන, බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් එහි අවිධිමත් අධ්‍යාපන වැඩසටහන් (Non-Formal Education programmes) හරහා දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තරුණ පරපුර වැඩි වශයෙන් දායක කරගැනීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ව්‍යාපෘති මාලාවක නවතම අදියරයි. පසුගිය වසර තුන තුළ මෙම වැඩසටහන් මාලාව මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 1,000 කට අධික පිරිසක් පරිසරය සහ දේශගුණය සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් බවට පත්කර ඇත.
මෙම තරුණ දේශගුණික තානාපති වැඩසටහන මගින්, දේශගුණික ක්‍රියාකාරකම් තුළ ස්ත්‍රී පුරුෂ සමානත්වය හා සමාජ අන්තර්කරණය ප්‍රවර්ධනය කරන අතරම තරුණ පරපුර තුළ නායකත්ව හැකියාවන් සහ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කුසලතා වර්ධනය කරවීම සිදුකරනු ලැබේ. එහිදී තරුණ තරුණියන්ට අත්දැකීම් තුළින් ඉගෙන ගැනීම, සාමූහික නිර්මාණකරණය සහ අන්තර්කරණය මූලික කරගත් සහභාගීත්වය (Experiential Learning, Co-Creation, and Inclusive Participation) ඔස්සේ යහපත් දේශගුණික ක්‍රියාකාරකම් සඳහා පෙරමුණ ගැනීම, සමාජ අන්තර්කරණය (Social Inclusion) සහ පද්ධතිමය චින්තනය (Systems thinking) සම්බන්ධයෙන් පුළුල් අවබෝධය ලැබෙනු ඇත.
“මෙය දේශගුණය, අධ්‍යාපනය සහ තරුණ සහභාගීත්වය සම්බන්ධයෙන් British Council සතු ගෝලීය ප්‍රමුඛතාවන් මැනැවින් පිළිබිඹු කරන වැඩසටහනක්. එය පන්නරය ලබන්නේ දේශගුණික නායකත්වය සම්බන්ධයෙන් එක්සත් රාජධානිය දක්වන සුවිශාල උනන්දුව හා කැපවීම තුළිනුයි. තරුණ පරපුරට නිවැරදි මෙවලම්, සම්බන්ධතා සහ දිරිගැන්වීම් ලබා දුන් විට, ඔවුන් වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් නොනැවතී ඒ සඳහා නායකත්වය දෙන බව අප විශ්වාස කරනවා,” British Council Sri Lanka හි මෙරට අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා පැවසීය.
රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල පහක්, එනම් විවෘත විශ්ව විද්‍යාලය, සාගර විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය සහ NSBM හරිත විශ්ව විද්‍යාලය මෙම වැඩසටහනේ පළමු අදියර සමග සම්බන්ධ වී සිටී. ඉදිරියේදී තවත් විශ්ව විද්‍යාලයක් මෙම වැඩසටහන සමග එක්වීමට නියමිතය.
“තම අධ්‍යයන කටයුතු අතරතුර දේශගුණික වෘත්තිකයන් සමග එක්ව කටයුතු කිරීම තුළින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අනාගතයේදී දේශගුණයට සම්බන්ධ වෘත්තීන්ට පිවිසීම සඳහා වැඩි අවස්ථාවක් ලැබීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. එමෙන්ම ප්‍රායෝගික තලය තුළ දේශගුණික ක්‍රියාකාරකම් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.” යාපනය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන, දැනට කෘෂි විද්‍යාව හා පාංශු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධායක් හදාරන, British Council හි තරුණ දේශගුණික වැඩසටහන්වලටද සම්බන්ධ වී කටයුතු කළ නිවේතා සිවරාජා පැවසුවාය.
නිවේතා වැනි තරුණ නායිකාවන් තුළින් පිළිබිඹු වන්නේ, තම අධ්‍යයන කටයුතු අතරතුර මෙන්ම වෘත්තීය ජීවිතය තුළදී දේශගුණික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පෙරමුණ ගැනීම සඳහා තරුණ පරපුර තුළ ඇති ආශාව හා අධිෂ්ඨානයයි.
“මා මේ වන විට දශක දෙකකට ආසන්න කාලයක් British Council සමග එක්ව කටයුතු කර තිබෙනවා. British Council හි නවතම වැඩසටහන වන මෙම තරුණ දේශගුණ තානාපති වැඩසටහන, දේශගුණික වැඩසටහන් සඳහා සක්‍රීයව දායක වෙමින් පෘථිවියේ සැබෑ ආරක්ෂකයන් බවට පත්වීම සඳහා තරුණ තරුණියන් පොළඹවමින් සිටිනු දැකීම සතුටට කරුණක්,” රුහුණු විශ්ව විද්‍යාලය තුළ තරුණ දේශගුණික තානාපති වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන මහාචාර්ය නාලිකා රණතුංග පැවසුවාය.