Eyeview Sri Lanka

CameraLK විසින් අග්නිදිග ආසියානු කාලාපයේ ප්‍රථමවරට පැවැති Sony Kando  චාරිකාවේ ශ්‍රී ලාංකික හැකියාවන් බලගන්වයි

Share with your friend

Sony ආයතනය විසින් ප්‍රථම වතාවට අග්නිදිග ආසියානු කලාපයේ පැවත්වන ලද Kando චාරිකාව පසුගියදා අති සාර්ථකව අවසන් කළේය. ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ මනරම් ප්‍රදේශයක පැවැති මෙම වැඩසටහන දින තුනක් පුරාවට විචිත්‍රවත් අංග සහ දැනුවත් කිරීමේ වැඩමුළු සහිතව පැවැත්වීය. ආරාධිතයන් පමණක් සහභාගී වූ මෙම වැඩසටහනට රටවල් නවයකින් නිර්මාණවේදීන් 130ක් පමණ සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කැමරා ආම්පන්න අලෙවිකරුවා සහ Sony ආයතනයේ ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ බලයලත් අලෙවිකරුවා වන CameraLK ආයතනයේ සහයෝගය සහිතව ශ්‍රී ලංකාවෙන් ප්‍රමුඛ චින්තන හැඩගන්වන්නන් (Key Opinion Leaders) සත් දෙනෙක් සහභාගී විය.

 
මෙම සුවිශේෂී අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තිළිණ කල්තොටගේ, ලක්ෂිත කරුණාරත්න, ප්‍රියන්ත බන්ඩාර, අරන්ත සිරිමාන්න, රවීන් රණසිංහ සහ ජනප්‍රිය අන්තර්ජාල අන්තර්ගතයන් නිර්මාණය කරන ජනයි ප්‍රියයි සහභාගී විය. වැඩමුළුව පැවති දින 3 පුරා මෙම අන්තර්ගත නිර්මාපකයන් සියලු දෙනාටම Sony Alpha උපකරණවල නවීන තාක්ෂණ භාවිතාවන්ගේ සුවිශේෂීත්වය අත්දැකීමට අවස්ථාව උදාවූ අතරම දැනුම හුවමාරු කරගැනීමට සහ විවිධ රටවල නිර්මාණවේදීන් හඳුනාගනිමින් නව නිර්මාණයන් ගොඩනැංවීමේ අත්දැකීම් සමුදායක් ලබාගැනීමේ අවස්ථාව උදාවිය.


2024 අග්නිදිග ආසියානු Kando චාරිකාවේ දී විවිධ වූ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අභියෝග සමග එම කලාපයේ නිර්මාණකරණයේ දැවැන්තයන්ගේ උපදේශන වැඩමු`එ ද පැවැත්වීය. සහභාගී වූ සැමට ආයතනය විසින් අලුතෙන්ම හඳුන්වාදුන් ZV-E10 II සහ වෘත්තීයමය සිනමා ලයින් කැමරා ආදිය අත්හදා බැලීමට සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම බෙදා දුන් අතර ලොව පිළිගත් අන්තර්ගත නිර්මාපකයෙක් වූ ZY Cheng සහ Bagoes Tresna Adji යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ භාවිතා කර සුවිශේෂී අන්තර්ගතයන් නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳව පෙන්වීම සිදුවිය.


වැඩසටහනේ දෙවැනි දිනයේ දී බාලි සංස්කෘතිය මනාව පිළිබිඹුවන ප්‍රදේශයක් වූ Penglipuran ගම්මානය වෙත සියලු දෙනාම කැඳවාගෙන ගොස් බාලිවල සංස්කෘතික සමාජමය සාරය තමන්ගේ කැමරාවට හසුකර ගැනීමේ අවස්ථාව ලබාදෙන ලදී. ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ කණ්ඩායම එහිදී බතික් කලාප පිළිබඳව එහි සාම්ප්‍රදායික කලාකරුවන්ගේ අත්දැකීම් ලබාගත්තේය. තවද ජාවා සුමාත්‍රා ගැමලාන් සංගීත ඉදිරිපත් කිරීම්, සාම්ප්‍රදායික බාලි නාට්‍ය කලාව පිළිබඳව නිර්මාණාත්මක අන්තර්ගතයන් හසුකරගැනීමට අවස්ථාව උදාකර ගත්තේය. අභිනය මගින් කතාන්තරයක් පැවසීමේ සාම්ප්‍රදාය, බතික් කලාව පිළිබඳ වාර්තාමය අන්තර්ගතයක් නිර්මාණය කිරීම සහ බාලිවල පරිසරය, සංස්කෘතිය තමන්ගේ කැමරා කාචයන්ට හසුකරගැනීම සහ ඒවා සුවිශේෂී නිර්මාණ අන්තර්ගතයන් බවට පත්කරගැනීමේ දැනුම සජීවීව බෙදාගැනීමේ අවස්ථාව සහභාගී වූ සියලු දෙනාට ලැබිණි.  

අවසන් වැඩසටහන Kommune Beach Club හි දී පැවැත්වුණු අතර එහිදී නිර්මාණකරුවන්ට වේගවත් ක්‍රියාකාරී අවස්ථාවන් කැමරාවට හසුකර ගැනීම, විලාසිතා වැඩසටහනවල විවිධ අවස්ථා හසුකරගැනීම සහ වෙරළ මුහුද ආශ්‍රිත සිනමාරූපී අවස්ථා හසුකර ගන්නා ආකරය මෙන්ම තාක්ෂණික හැකියාවන් මගින් සීමාමායිම් අභිබවා යමින් නිර්මාණකරණයේ යෙදෙන ආකාරය පිළිබඳ දැනුම ලබාදීම සිදුවිය.

CameraLK ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්ක ගුණසිංහ මහතා මේ අවස්ථාව පිළිබඳව සිය අදහස් දැක්වීය,“Sony විසින් අග්නිදිග ආසියානු කලාපයේ පැවැත් වූ පළමු  Kando Trip  එකට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. කලාපයේ විශිෂ්ටතම නිර්මාණකරුවන් සමග සම සමව සිටිමින් වැඩකිරීම, ඉගෙන ගැනීම සහ නව අදහස් ඉදිරිපත් කිරීමට අප රටේ සහභාගී වූ අයට හැකිවීම තුළින් ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වය මොනවට පැහැදිළි වෙනවා වගේම එය අප ආයතනයටත් විශාල සතුටක්. CameraLK ආයතනයක් ලෙස අපේ රටේ හැකියාවන් වලට අවස්ථාව ලබාදීමටත් ඔවුන්ව ගෝලීය වේදිකාවට නැගීමට අවකාශය ගොඩනැංවීමටත් ඇපකැපවී සිටිනවා. ඒගැන අපිට තියෙන්නේ ඉමහත් සතුටක්.”


2024 අග්නිදිග ආසියානු Kando චාරිකාවට සහභාගී වූවන්ට Sony ආයතනයේ නව කැමරා ආම්පන්න අත්දැකීමට අවස්ථාව උදාකර දීමෙන් නොනැවතී අග්නිදිග ආසියානු කලාපයේ සිටින දැවැන්තම අන්තර්ගත නිර්මාණකරුවන් සමග සහභාගී වූවන්ට අත්දැකීම් බෙදාගැනීමට අවස්ථාව ලබාදීම ද සිදුවිය. Sony සන්නාමයක් ලෙස ලොව පුරා නිර්මාණකරුවන්ට අවස්ථාවන් පුළුල් කිරීම සහ බලගැන්වීම සිදුකරන අතර CameraLK ආයතනය, එය වඩාත් ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ සිටින නිර්මාණ දක්ෂතාවන් හඳුනාගනිමින් ඒවා ගෝලීය තලයට ඔසවා තැබීමට වේදිකාව සකස් කරයි.


Share with your friend
Exit mobile version