Site icon Eyeview Sri Lanka

CDB මුල්‍ය සමාගම ඔස්ට්‍රේලියානු පිළේ ශ්‍රී ලංකා සංචාරය සඳහා සහකාර අනුග්‍රාහක බවට පත්වෙයි

Share with your friend

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාව සමග දීර්ඝ කාලයක් තිස්සේ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන CDB සමාගම, වෙළඳ සේවා සංගම් ක්‍රිකට් තරගාවලියට වසර ගණනාවක් තිස්සේ අනුග්‍රාහකත්වය ලබා දී ඇති අතර, 2021 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය සඳහාද අනුග්‍රාහකත්වය දැක්වී ය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2022 ශ්‍රී ලංකා සංචාරය ජූනි 07 දින සිට ජූලි 12 දින දක්වා පැවැත්වේ. මේ වනවිට ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ පසුවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ වසර 6 කට පසුව වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග පහකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වේ. 

“ක්‍රිකට් යනු කවදත් ශ්‍රී ලාංකිකයන් තුළ ප්‍රබෝදයක් ඇති කිරීමට සමත් වූ දෙයක්. ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර අපගේ කණ්ඩායම දිරිගැන්වීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු ලෙස හැඳින්වීමට පුළුවන්. ක්‍රිකට් ලෝලීන් ඉතාමත් උනන්දුවෙන් බලා සිටි මේ තරගාවලිය සඳහා අනුග්‍රාහකයෙකු බවට පත්වීමට හැකිවීම අපට මහත් සතුටක්.” CDB ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දර්ශන ජයසිංහ මහතා පැවසී ය. 

“ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ ශ්‍රී ලංකාවට තීරණාත්මක වන කාලපරිච්ඡේදයකයි. ඒ නිසා එහි වැදගත්කම දෙගුණ වී තිබෙනවා. සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි ආයතනයක් වශයෙන් අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සුපුරුදු ශ්‍රී ලාංකික සත්කාරය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත ලබාදෙමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාකම් පෙරදැරිව තරගාවලියේ උණුසුම සිත් සේ විඳගන්නා ලෙසයි.” දර්ශන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය. 


Share with your friend
Exit mobile version