DFCC බැංකුව සහ AIA බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කරයි

Share with your friend

DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම තම බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයන් ඇගයීමේ සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Oak Room හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන AIA රක්ෂණ සමාගමේ සහ මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන බැංකු රක්ෂණ සේවා අංශයේ විශිෂ්ටයෝ පිරිසක් ඇගයීමට ලක් වූහ. 2019, 2020 සහ 2021 වසර වලදී මෙම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයේ සාර්ථකත්වයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ විශාල පිරිසක් වෙත මෙලෙස සම්මාන පිරිනමන ලදි. 

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා සහ AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය ඇතුළුව දෙපාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම හවුල්කාරීත්වය අන්‍යොන්‍ය වශයෙන් සුවිශේෂී ජීවිත රක්ෂණ සේවා හවුල්කාරීත්වයක් වන අතර, 2016 නොවැම්බර් මාසයේ සිට DFCC බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන්ට AIA රක්ෂණ සමාගමේ රක්ෂණ සේවා මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. 

“ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන රක්ෂණ විසඳුම් සහ බැංකු සේවාවන් එකම වහලක් යටදී තරගකාරී මිලගණන් යටතේ ලබාදීම සඳහා අප මෙම දීර්ඝකාලීන බැංකු රක්ෂණ සේවා හවුල්කාරීත්වය පවත්වාගෙන යනවා. පසුගිය කාලය තුළ අපට සමාගම් දෙක තුළින්ම විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණා. එම දක්ෂතා නිසි ඇගයීමකට ලක්විය යුතුයි. එම නිසාම මේ ආකාරයට බැංකු රක්ෂණ සේවා සම්මාන උළෙලක් පැවැත්වීමට අප තීරණය කළා. ජයග්‍රාහකයන්ට සුබපැතීමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම, මෙම ජයග්‍රහණ අනෙක් සියලුම දෙනාට ආදර්ශයක් වනු ඇතැයි කියා මා සිතනවා. එමෙන්ම මෙය අපගේ සමාගම් දෙක අතර පවතින සමීප සම්බන්ධතාව ඇගයීමට ලැබුණු අගනා අවස්ථාවක්. තනිව වැඩ කරනවාට වඩා, සමාන ආකල්ප ඇති පාර්ශ්වයන් එකට එක්වී වැඩ කිරීම තුළින් වඩාත් ඉක්මනින් සාර්ථකත්වය ළඟා කරගැනීමට පුළුවන්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය. 

Annual CEO’s Club Awards, Central Sales Team Highest Volume Generated Team Leaders, MDRT Winners, Best Financial Planning Executive, Million Club Awards, Best New Entrant Branch, Most Productive Branch, Highest Long-Term Branch, Best Bancassurance Sales Manager, Best Regional Manager, Best Branch සහ Top Introducer Awards යන කාණ්ඩ යටතේ මෙහිදී සම්මාන පිරිනමන ලදි. ඇතැම් කාණ්ඩ වලට අදාළ සම්මාන DFCC බැංකුවට සහ AIA රක්ෂණ සමාගමට වෙන් වෙන්ව පිරිනැමුණු අතර, අනෙකුත් කාණ්ඩ සඳහා වූ සම්මාන දෙපාර්ශ්වයට පොදුවේ පිරිනැමිණි. 

“මෙය අප සමාගම් දෙකේ දීර්ඝකාලීන හවුල්කාරීත්වය මෙන්ම එහි සාර්ථකත්වයට උරදුන් දක්ෂයන් ඇගයීමට ලැබුණු මහඟු අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම වඩාත්ම ඉදිරිගාමී ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් සමග මෙවැනි හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙය දෙපාර්ශ්වයේ ශක්තීන් එක්තැන් කරමින් සාමූහිකව ජයග්‍රහණය කරා යන ගමනක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම සම්මාන උළෙලේදී ජයග්‍රහණ හිමිකරගත් සියලුම දෙනාට මගේ සුබපැතුම් පිරිනමනවා. මෙය අප සියලු දෙනාම විශිෂ්ටත්වය කරා යාමට දිරිමත් කරනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.” AIA රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය පැවසුවා ය. 

සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ වත්කම් කළමනාකරණය, විශ්‍රාම සැලසුම්, සෞඛ්‍ය රක්‍ෂණ සහ උසස් අධ්‍යාපන සැලසුම් ප්‍රවර්ධනය කරමින් සිදුකළ සුවිශේෂී කාර්යභාරය අගයමින්, දෙපාර්ශ්වයේ විශිෂ්ටයන් වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී සම්මාන 182 ක් පිරිනමන ලදී. සම්මාන උළෙලේ ප්‍රධාතම සම්මාන කාණ්ඩයක් වූ ‘විශිෂ්ටතම ශාඛාව’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාව, මාතර ශාඛාව සහ බණ්ඩාරගම ශාඛාව වෙත හිමි විය. මෙහි තවත් ප්‍රධානතම කාණ්ඩයක් වූ ‘Top Introducer’ කාණ්ඩයේ සම්මාන කොට්ටාව ශාඛාවේ සමිත ජයතිලක (2019), කළුතර ශාඛාවේ විරාජ් උඩුගම (2020) සහ මාතර ශාඛාවේ ධනංජය නන්දසිරි (2021) විසින් දිනාගන්නා ලදි. 

ඉදිරියටත් තම විශිෂ්ටතම විසඳුම් හා සේවාවන් දිවයින පුරාම ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම ලෙස පිරිනැමීම සඳහා DFCC බැංකුව සහ AIA රක්ෂණ සමාගම එක්ව කටයුතු කරනු ඇත. පවතින අභියෝග සහ ආර්ථික ගැටලු හමුවේ වුවද බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීම සඳහා දෙපාර්ශ්වය මේ වනවිටත් ක්‍රමෝපායික පියවර රැසක් ගෙන තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply