Eyeview Sri Lanka

Fems ‘Fio’ හඳුන්වා දෙයි ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ප්‍රථම ත්‍රෛභාෂික යෙදුම (App)

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් (Period Tracking App) හඳුන්වා දී තිබේ. ‘Fio’ ලෙස නම් කර ඇති මෙම යෙදුම (App) නිල වශයෙන් හඳුන්වා දීම 2024 ඔක්තෝබර් 15 දින සිදුකෙරිණි. මෙමගින් කාන්තාවන්ට ඔසප් වීම් සිදුවන දින පිළිබඳව දැනුවත් වීමට අමතරව ඔසප් සෞඛ්‍යය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ඉගෙන ගැනීටමත්, ඔසප්  සෞඛ්‍ය සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් විශ්වසනීය ලෙස පෞද්ගලිකව ලබාගැනීමටත් උපකාරී වේ.

කාන්තාවන්ට ස්වාධීන වෙමින් සමාජයීය සීමාවන් අභිබවා යාමට අත්වැලක් වීමටත්, ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින සාම්ප්‍රදායික දුර්මත බිඳ හෙළීමටත් Fems සෑම විටම උත්සාහ කරයි. එමෙන්ම කාන්තාවන්ට තම ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගැනීමට අවස්ථාව සලසා දීමටත්, ඔවුන්ට නිසි සහයෝගය ලබා දීමටත් Fems කැප වී සිටී.  Fio App හඳුන්වා දී ඇත්තේ එම මෙහෙවරෙහි තවත් වැදගත් ඉදිරි පියවරක් වශයෙනි. 

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම භාවිතා කළ හැකි Fio App සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. 

Fio App නිර්මාණය කරන ලද්දේ, කාන්තාවන් විසින් Fio WhatsApp chatbot හරහා යොමුකරන ලද ගැටලු සහ විමසීම් පදනම් කරගෙන ය. 2023 අගෝස්තු මාසයේදී මුලින්ම හඳුන්වා දෙන ලද මෙම WhatsApp chatbot මගින් දින 40 ක් වැනි කෙටි කාලයක් තුළ ස්වයංක්‍රීය පණිවිඩ 17,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය වූ අතර, එය දායක වූ චැට් සංවාද ගණන 4,000 කට අධික ය. මෙම සංවාද මගින් හඳුනාගන්නා ලද වැදගත් කරුණක් වූයේ, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍ය දැනුම සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් පවතින බවයි. කාන්තාවන්ට ඔවුන්ගේ අවශ්‍යතා, දැනුම් මට්ටම සහ ආකල්ප ආදිය අනුව ඔසප් සෞඛ්‍ය සම්බන්ධ දැනුම විධිමත්ව ලබාදීම අත්‍යවශ්‍ය බව මෙමගින් පෙනී ගියේ ය. 

මෙම Fio යෙදුම (App) භාවිත කරන  කාන්තාවන්ට, ඔසප් චක්‍රයට අදාළ මූලික තොරතුරු ඇතුළත් කිරීම මගින් නිවැරදිව මීළඟ ඔසප් දිනය දැනගැනීම මෙන්ම සිය සරු කාලසීමාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැනි සුවිශේෂී  විශේෂාංග රැසක් හිමිවේ.  වෛද්‍ය වෘත්තිකයන් හා එක්ව නිර්මාණය කරන ලද  මෙම යෙදුම (App) කාල සිමා කල්තියා දැනගැනීම, ඔසප් සෞඛ්‍යය සම්බන්ධ වැදගත් කරුණු මෙන්ම ඔසප් කාලසීමාවේදී ඇති වන වේදනාවන් වැනි ගැටලු පාලනය කර ගැනීම වැනි වෛද්‍ය මගපෙන්වීම් වලින් ද සමන්විතය. 

මීට අමතරව, වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා භාවිතා කළ හැකි ‘Ask a Doctor’ නම් විශේෂාංගයක්, වෙනත් කාන්තාවන් සමග අත්දැකීම් බෙදාහදා ගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය ලබාගැනීම සඳහා ක්‍රමවේදයක්,  වැදගත් දින මතක් කිරීම සඳහා  Reminder විශේෂාංගයක් සහ සනීපාරක්ෂක නිෂ්පාදන ඇණවුම් කිරීම සඳහා විද්‍යුත් අලෙවිසැලක් ඇතුළු තවත් විශේෂාංග රැසක්ද Fio App හි ඇතුළත් ය. 

“ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රමාණවත් කතිකාවක් සිදුවන්නේ නැහැ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සමාජයීය බාධා රැසක් පවතිනවා. අප Fio App හඳුන්වා දුන්නේ මේ ගැටලුවලට පිළියමක් වශයෙනුයි. මෙමගින් කාන්තාවන්ට තම ඔසප් සෞඛ්‍යය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම හා පහසුකම් ලබාදීම තුළින් ගතානුගතික ආකල්ප පිටුදකිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව තම සෞඛ්‍යය සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා.” Hemas Holdings PLC හි සමූහ ආයතනික සම්බන්ධතා ප්‍රධානී, ජානකී කරුණාරත්න මහත්මිය පැවසුවා ය. 

Fio යනු හුදෙක් ඔසප් දින හඳුනාගැනීමේ යෙදුමක් (App) පමණක් නොවේ. එය කාන්තාවන්ට ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධ පූර්ණ දැනුමක් සහ මගපෙන්වීමක් ලබාදීම සඳහා සැලසුම් කළ සුවිශේෂී ඩිජිටල් විසඳුමකි. එමෙන්ම කාන්තාවන්ට පිළිගත් වෛද්‍යවරුන් වෙතින් උපදෙස් ලබාදීම සඳහා ‘Ayubo Healthcare Solutions’ සමග අත්වැල් බැඳගැනීමට Fems පියවර ගෙන තිබේ. 

“ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් නොමැති බව අපට පෙනී ගියා. භාෂා තුනෙන්ම භාවිතා කළ හැකි මෙවැනි යෙදුමක්(App) නිර්මාණය කිරීමට අප කටයුතු කළේ ඒ නිසයි. Fio මගින් ශ්‍රී ලාංකික කාන්තාවන් සියලුම දෙනාට, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේවි.”  Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා පැවසී ය. 

iOS සහ Android උපාංග සඳහා Fio App බාගත (Download) කළ හැකි වේ. Fems විසින් Afno Asia Pacific සමග එක් වී මෙම යෙදුම (App) නිර්මාණය කරන ලදී.

“Fio App කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට සුරක්ෂිතව ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුම ලබාගැනීමට හැකිවන අවකාශයක් වශයෙන් ඉදිරියට ගමන් කරනු ඇත. අපගේ අරමුණ වන්නේ ඔසප් සෞඛ්‍යය සම්බන්ධ සෑම ගැටලුවකටම පිළිතුරු ලැබෙන, සෑම කාන්තාවකටම ඒ සම්බන්ධයෙන් නිසි සහයෝගය හිමි වන පසුබිමක් නිර්මාණය කිරීමයි.” Fems අලෙවි කළමනාකාරිනී සචිනි ගමගේ මහත්මිය පැවසුවා ය. 

සෑම කාන්තාවකටම භාෂාව හෝ පසුබිම පිළිබඳව ගැටලුවකින් තොරව, ආත්ම විශ්වාසයෙන් යුතුව ඔසප් සෞඛ්‍යය සම්බන්ධ අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට අවස්ථාව තිබිය යුතු බව Fems විශ්වාස කරයි. Fio App නිර්මාණය කරන ලද්දේ මෙම විශ්වාසය පදනම් කරගනිමිනි. 

Fems පිළිබඳව 

Fems යනු ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයකි. 2004 වසරේදී ආරම්භ වූ එම සන්නාමයේ මෙහෙවර වන්නේ, කාන්තාවන්ට ස්වාධීන වෙමින් සමාජයීය සීමාවන් අභිබවා යාමට අත්වැලක් වීම ය. 

Fems, සියලුම තරාතිරම්වලට අයත් කාන්තාවන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක තුවා පහසුවෙන් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබාදීම සඳහා කැප වී සිටී. Fems එහි නිෂ්පාදන පෙළට Aya නිෂ්පාදනය එකතු කර ඇත්තේ මෙම අරමුණ පෙරදැරි කර ගෙනය. කාන්තාවන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව සංවේදී වෙමින් හා පැහැදිලි අවබෝධයකින් යුතුව, ඔවුන්ට නිසි සහයෝගයක් වෙමින්, ඔවුන් තුළ ආත්ම විශ්වාසය ඇති කරවන සහ සුව පහසු ආකාරයට ඔවුන්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම Fems හි ඉලක්කය වී තිබේ. වර්තමානය වන විට කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ වඩාත්ම විශ්වාසනීය සන්නාමයක් බවට පත්වීමට Fems සමත් වී ඇත.

ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් මෙරට සමාජය  දැනුවත් කරන අතරම, ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දුර්මත බිඳ දැමීමට උත්සාහ කිරීම Fems හි  තවත් එක් ප්‍රමුඛ අරමුණකි. කාන්තාවන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබමින්, ඔවුන්ගේ ශක්තිය අගයමින්, ඔවුන්ගේ ඉදිරි ගමනට අත්වැලක් වීමට Fems දිගින් දිගටම කටයුතු කරනු ඇත. 

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න:  https://hemas.com/brands/fems.html.

01 ඡායාරූපය – Hemas Outreach Foundation / AYATI Trust Sri Lanka හි විධායක අධ්‍යක්ෂ සහ Hemas Holdings PLC හි උපදේශක, ශිරෝමි මාසකොරල සහ Hemas Hospitals හි වෛද්‍ය චමෝද්‍යා ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ යෙදුම (Period Tracking App) වන Fio නිල වශයෙන් එළිදක්වමින් 

02 ඡායාරූපය –  ඔසප් සෞඛ්‍ය සම්බන්ධව කාන්තාවන්  දැනුවත් වීම හා අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම සම්බන්ධයෙන් පවත්වන ලද කතිකාවත. මෙම කතිකාවතට වෛද්‍යවරයෙකු, Fems නියෝජිතයෙකු සහ පාරිභෝගිකයෙකු ඇතුළත් විය.

03 ඡායාරූපය – Hemas Holdings PLC හි සමූහ ආයතනික සම්බන්ධතා ප්‍රධානී, ජානකී කරුණාරත්න මහත්මිය Fio යෙදුමෙහි (App) පසුබිම හා එහි මෙහෙවර වන ඔසප් සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු ලබාදෙමින් කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව පැහැදිලි කරමින්

04 ඡායාරූපය – Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා Fio නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාවට එක් වූ සියලු දෙනාට කෘතඥතාව පළ කරමින්, ශ්‍රී ලංකාවේ කාන්තා ඔසප් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ සාමූහික කැපවීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්


Share with your friend
Exit mobile version