Eyeview Sri Lanka

HUTCH විසින් තිරසාර පරිසරයක් සඳහා සිය ප්‍රධාන කාර්යාලයේ සහ තෝරාගත් අලෙවි ශාඛාවල විද්‍යුත් අපද්‍රව්‍ය (Mobile Phone) එකතු කිරීමේ මධ්‍යස්ථාන හඳුන්වා දෙයි.

Share with your friend

තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH, Ceylon Waste Management Ltd සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයකට අනුව එහි ප්‍රධාන කාර්යාලයේ  සහ සන්නාම වෙළඳසැල්වල විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කරමින් නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

ජංගම දුරකථන සහ බැටරි වගකීමෙන් බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. මෙම පහසුකම ලබාගැනීම මඟින් භාවිත කාලය ඉක්ම වූ හෝ ඉවතලන උපාංග ප්‍රතිචක්‍රීකරණය කිරීමට මෙන්ම පාරිසරික බලපෑම අවම කිරීමටත්, වක්‍ර ආර්ථිකයට සහාය වීමටත් පාරිභෝගිකයින් උනන්දු කරනු ලැබේ.

මෙම කටයුත්ත සඳහා ප්‍රජාව දිරිමත් කිරීම සඳහා, HUTCH වෙතින් මේ සමඟ සම්බන්දවන පිරිස් වෙත සුවිශේෂී ත්‍යාග පිරිනමයි. ස්මාර්ට්ෆෝන් ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් පාරිභෝගිකයින්ට 50GB Data  පිරිනමනු ලබන අතර තවද 2G දුරකථන වෙනුවෙන් ඕනෑම ජාලයකට විනාඩි 500 ක නොමිලේ කතා කාලයක් ද වසරක් සඳහා වලංගු කාලසීමාවක් සහිතව හිමි වේ.

Ceylon Waste Management ආයතනය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කාර්යයේදී එය එකතු කිරීමේ සිට ප්‍රතිචක්‍රීකරණය කිරීම දක්වා වූ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ විශේෂඥයෙකු වේ.

මෙම  මුල පිරීම සම්බන්ධයෙන් HUTCH Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මෙලෙස අදහස් දැක්වීය. “සීඝ්‍ර තාක්‍ෂණික දියුණුවත් සමඟ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දැවැන්ත පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මෙම අභියෝගාත්මක ගැටළුවට සාර්ථකව මුහුණදීමට HUTCH මෙම වැඩසටහන තුළින් ක්‍රියාකාරී පියවරක් ඉදිරියට තබා තිබෙනවා. තවද මෙයින් අපි වගකීමක් සහිතව මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමට දිරිමත් කරනවා පමණක් නොව, තිරසරභාවය සහ අපගේ සේවා අතර සෘජු සම්බන්ධතාවයක් ද මෙමඟින් නිර්මාණය කිරීමට කටයුතු කරනවා.”

මෙහිදී Ceylon Waste Management Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් නන්දසිරි මහතා මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “HUTCH සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ කාර්යයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දිය හැකියි. අප ඉවතලන සෑම ජංගම දුරකථනයක්ම අපගේ පරිසරය දූෂණය කරන එක් උපාංගයකින් යුතු වන අතර, අපගේ බදුන් තුළට බහාලන දුරකථන වල අඩංගු සියළුම දත්ත ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ පනතට අනුව ආරක්ෂා කරන බවට අපි සහතික වෙනවා. අපි සියලුදෙනාම පුද්ගල සහ ආයතනික වශයෙන් පෘථිවිය ආරක්ෂා කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා වගේම HUTCH සමඟ එක්ව, අපි එම තිරසාර ක්‍රියාවලි සඳහා අඩිතාලමක් ලෙස මෙම මුලපිරීම සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා.”

HUTCH වෙතින් පාරිසරික තිරසරබව සහ වගකිවයුතු ආයතනික භාවිතය දිරිගැන්වීම සඳහා වන සිය කැපවීම අඛණ්ඩව පෙන්නුම් කරමින්, අනාගතයේදී අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් කිරීම දක්වා වූ මෙම මුලපිරීම පුළුල් කිරීමට සැලසුම්කර තිබේ.

HUTCH Sri Lanka පිළිබඳව

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HUTCH Sri Lanka සමාගම, CK Hutchison Holdings (CKHH) හි අනුබද්ධ සමාගමකි. හොංකොං පදනම් කරගත් Fortune 500 සමාගමක් වන, රටවල් 50 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති CK Hutchison Holdings සමාගම ප්‍රධාන ක්ෂේත්‍ර 6 තුළ ක්‍රියාත්මක වන අතර එය 2023 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 60 කට ආසන්න ආදායමක් වාර්තා කිරීමට සමත් විය.

1997 වසරේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ HUTCH විසින් 2004 වසරේදී GSM සේවාවන් දියත් කරන ලද අතර, ඉන් අනතුරුව 2011 වසරේදී 3G සේවාවන්ද, 2018 වසරේදී 4G සේවාවන්ද හඳුන්වා දෙන ලදි. 2019 වසරේදී Etisalat Sri Lanka සමාගම අත්පත් කරගැනීමත් සමග HUTCH හි වෙළඳපොළ ආවරණය තවදුරටත් ශක්තිමත් වූ අතර, ඒ හේතුවෙන් පාරිභෝගිකයන්ට 078 මෙන්ම 072 අංක යටතේ ජංගම දුරකථන සේවාවන් පිරිනැමීමට සමාගමට හැකියාව ලැබිණි. මේ වන විට HUTCH 4G ජාලය මගින් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 95% ක්ම ආවරණය වන අතර, ඉදිරියේදී රටේ ඩිජිටල් සැලසුම්වලට අත්වැලක් වෙමින් 5G සේවාවන්ද හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත.

රටේ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට පවා සන්නිවේදනය, ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ විනෝදාස්වාදය සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් සපයන HUTCH, සහනදායී හා විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ඔස්සේ මෙරට දුරකථන සන්නිවේදනය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී.


Share with your friend
Exit mobile version