INSEE සිමෙන්ති මාර්ගගත සම්මන්ත්‍රණ මගින් දැනුම හුවමාරු කරමින් නවෝත්පාදනයන් දිරිගන්වයි

Share with your friend

මෙරට සිමෙන්ති නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා මෙන් ම එකම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ද වන INSEE සිමෙන්ති ආයතනය, ඉදිකිරීම්  ක්ෂේත්‍රය තුළ  නවෝත්පාදනයන් දිරිගැන්වීම සඳහා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි. මෙම සංකල්පය සාර්ථක කරගැනීම සඳහා  INSEE සිමෙන්ති ආයතනය භාවිත කළ සාර්ථක ක්‍රමවේදයක් වන්නේ මාසිකව පවත්වන ලද මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක් ඔස්සේ සියලුම පාර්ශවකරුවන් එක් කරගනිමින්, ඒ හරහා දැනුම හුවමාරු කරගැනීමයි. මෙම මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව  ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා නව නිපැයුම් සහ විසඳුම් සංවර්ධනය හා ප්‍රවර්‍ධනය සඳහා   විශිෂ්ට සේවාවක් සිදු කරන අතර, 2020 ජුනි මාසයේ සිට මේ වනතෙක්  12කට වැඩි මාර්ගගත සම්මන්ත්‍රණ සංඛ්‍යාවක් පවත්වා ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්  INSEE සිමෙන්ති ආයතනයේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා පැවසුවේ,

“සියලුම දෙනා එක්ව, සහයෝගයෙන් වැඩකිරීමේ දී ගොඩනැගෙන බලය පිළිබඳව අපි හොඳින් ම විශ්වාස කරනවා. ඒ වගේමයි, සුවිශේෂී  නව නිපැයුම් බිහිවන්නේ අපි එක්ව වැඩ කරන විටයි. පවතින වසංගත තත්ත්වයට පෙර අපි දැනුම හුවමාරු කර ගැනීමේ  සැසි පැවැත්වුවත්, වසංගතය නිසා ඒවා ප්‍රායෝගිකව කරගෙන යාම අපහසුයි. නමුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරි දියුණුවට අපගේ දැනුම හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කරගනිමින් මෙම සැසි පැවැත්වීමට කටයුතු කළා.  දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීමට අපි  කැපවෙනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සිසුන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ප්‍රවීණයින්, විද්වතුන්, නිර්මාණකරුවන්, පෙදරේරුවන්, කොන්ත්‍රාත්කරුවන්, ඉංජිනේරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් එම ඉලක්කය වෙත යාමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

පෑලියගොඩ පිහිටි, INSEE හි අති නවීන i2i සහයෝගීතා මධ්‍යස්ථානය මඟින් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තරඟකරුවන් ඇතුළු සියලුම පාර්ශ්වයන් අතර සහයෝගීතාව ප්‍රවර්‍ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් දියත් කරයි. මේ අතරින් සුවිශේෂී වැඩසටහනක් වන මාර්ගගත සම්මන්ත්‍රණයන්, දේශීය ඉදිකිරීම් කර්මාන්තය  දියුණු කිරීම වෙනුවෙන් දැනුම  හුවමාරු කරගැනීමට මෙන් ම පාර්ශවකරුවන්ට නව අදහස්, ප්‍රවණතා සහ තාක්‍ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීමට සහ සාකච්ඡා කිරීමට ද  අවකාශය සලසයි. එමෙන් ම මෙම සැසි තුළින් නව ගෝලීය ප්‍රවනතාවන් පිළිබඳව  මෙන්ම දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන  අභියෝග පිළිබඳව  ද විවෘත ලෙස සාකච්ඡා කිරීම විශේෂිතය.

“අපි 2018 වසරේ ජූනි මාසයේ දී පැවැත් වූ මෙහි ආරම්භක සැසියේ සිට සෑම සැසියකදී ම අවම වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ 150 කට වැඩි සාමාජිකයින් පිරිසක් එමගින් ප්‍රතිලාභ ලබාගන්නා බව අපි හඳුනාගෙන සිටිනවා . ඒ වගේම එහිදී සෑම අවස්ථාවකදී ම අපට බොහෝ නව මුහුණු දක්නට ලැබෙනවා. එය නිරන්තරයෙන්ම අපව දිරිගන්වනවා. මෙම ක්‍රමවේදය ඩිජිටල්කරණය වීමත් සමග ම එම නව සහභාගීත්වය තවත් පුළුල් වී තිබෙනවා. මේ නිසාම අනාගතයේදීත් මෙම ක්‍රියාන්විතය අඛණ්ඩව කරගෙන යාමට අපි කටයුතු කරනවා” යනුවෙන් නැවතත් අදහස් දක්වමින් කුනිග් මහතා පැවසුවේය.

දැනුම හුවමාරු කර ගැනීමේ අවකාශයක් ලෙස මෙන් ම  දත්ත ගබඩාවක් ලෙස  කටයුතු කිරීමට අමතරව, කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා නවතම ප්‍රමිතීන් හඳුන්වා දීමට ද ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන INSEE  i2i සහයෝගිතා මධ්‍යස්ථානය අති නවීන පරීක්ෂණ පහසුකම් වලින් සමන්විත වේ. මෙහි දී කොන්ක්‍රීට් සහ අනෙකුත් සිමෙන්ති නිෂ්පාදනවල ව්‍යූහාත්මක ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමට සහ එහි කල් පැවැත්ම දීර්ඝ කිරීම සඳහා පර්‍යේෂණයන් සිදුකළ හැකි අතර, එහිදී සාම්ප්‍රදායික  පර්‍යේෂණ ක්‍රමවේදයන්ගෙන්  ඔබ්බට යමින් නැවුම් කොන්ක්‍රීට්වල ගුණාංගයන් තක්සේරු කිරීමට පර්යේෂකයින්ට ඉඩ සලසයි.  

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් ආයතනය, 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම  INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත  සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply