Eyeview Sri Lanka

Right to Protein සහ NEL Farms එක්ව අනුරාධපුර, තම්බියාව පාසලකට බිත්තර 500 ක් බෙදා දෙයි

Share with your friend

ශ්‍රී ලංකාව පුරාම ප්‍රෝටින් පෝෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණෙන් කටයුතු කරන, Right to Protein South Asia සංවිධානය, සිය අඛණ්ඩ මෙහෙවරේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින්, අනුරාධපුරයේ තම්බියාව ප්‍රදේශයේ පාසලක බිත්තර බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදී. NEL Farms හා අත්වැල් බැඳගනිමින් මෙම වැඩසටහන පසුගියදා සාර්ථකව පවත්වනු ලැබිණී.  

දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, ‍‍‍මොළයේ ක්‍රියාකාරීත්වයට පමණක් නොව, පූර්ණ සෞඛ්‍ය යහපැවැත්ම සඳහාද ඉවහල් වන පෝෂණ සංඝටකයකි. බිත්තර දිනපතා පරිභෝජනයට ගැනීමෙන් දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේත් ශාරීරික හා මානසික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රෝටීන් පහසුවෙන් හා ලාබදායීව ලබාගැනීමට හැකියාව සැලසේ.ඒ අනුව, පාසල් දරුවන්ගේ දෛනික බිත්තර පරිභෝජනය ඉහළ නැංවීමට උපකාරී වෙමින්, NEL Farms හා එක්ව බිත්තර 500ක් සිසුන් වෙත බෙදාදීම සිදුකෙරිණි. 

මේ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ Right to Protein සංවිධානයේ නිලධාරියකු සඳහන් කළේ මෙසේයි. “විශේෂයෙන්ම, දරුවන්ගේ ශාරීරික හා මානසික සංවර්ධනය සඳහා ප්‍රෝටීන් මගින් ඉටුකෙරෙන කාර්යභාරය ඉතාමත් වැදගත්. බිත්තර වගේ ප්‍රෝටීන් බහුල ආහාරයක්, දෛනිකව ආහාර වේලට එක් කිරීමෙන්, අපට දීර්ඝකාලීන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා.”

දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ පූර්ණ වර්ධනයට ඉවහල් වන ප්‍රෝටින්වලට අමතරව අප පරිභෝජනයට ගන්නා බිත්තරවල, ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, විටමින් සහ ඛනිජ ලවණද අඩංගු වේ. ඒ හේතුවෙන් බිත්තර සමබල ආහාර වේලක් සඳහා එක්කර ගැනීම ප්‍රායෝගික වශයෙන්ද ඉතා වැදගත් වෙයි. මෙලෙස බිත්තර ‌බෙදාදීම තුළින්, ප්‍රෝටීන්වල වැදගත්කම පිළිබඳව රටපුරා දැනුවත් කිරීමේ කතිකාවත, ගුරු සිසු දෙපාර්ශවය තුළින් ගොඩනැගීමට, Right to Protein සංවිධානයත්, NEL Farms ආයතනයත් බලාපොරොත්තු වේ.

මෙය, හුදෙක් බිත්තර බෙදා දීමේ වැඩසටහනක් පමණක් නොවේ. පෝෂණය පිළිබඳ දැනුවත් කිරිමේ අංග සිසුන් සඳහා වන අධ්‍යයන ක්‍රියාකාරකම්වලට ඇතුළත් කරන ලෙසට ගුරුවරුන්ද දිරිගැන්වෙන වැඩසටහනකි. සමබල ආහාර වේලක් සමගින් ශාරීරික හා මනසික වර්ධනයට ප්‍රමාණවත් පරිදි ප්‍රෝටීන් දිනපතා ආහාර වේලට එක්කර ගැනීමේ වැදගත්කම පිළිබඳව පණිවිඩය, දිගින් දිගටම දරුවන් වෙත ලබාදීමට ඒ අනුව හැකි වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදුවලට දරුවන් පහසුවෙන් යොමු කිරීමටත්,  ඔවුන් හරහා පවුල් මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීම තුළින්, ශ්‍රී ලංකාව පුරාම ප්‍රෝටීන් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම Right to Protein සංවිධානයේ අරමුණයි.

දකුණු ආසියානු කලාපය පුරාම “ප්‍රෝටීන් සාක්ෂරතාවය” වැඩි කිරීම සඳහා Right to Protein විසින් දියත් කරන ලද පුළුල් වැඩසටහනක එක් පියවරක් ලෙසින් මෙය ක්‍රියාවට නැංවිණි. 

මෙම වැඩසටහනට සහය දැක්වීම සඳහා සතුටින් අත්වැල් බැඳගත් NEL Farms ආයතනය අවධාරණය කරන්නේ, මෙම සහයෝගිතාවය ග්‍රාමීය ප්‍රදේශයන්හි ජනතාව‌ගේ  ප්‍රෝටීන් පෝෂණ තත්ත්වය ඉහළ නංවමින් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන පියවරක් බවයි.  

දිවයින පුරාම ප්‍රෝටීන් පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීමේ අරමුණෙන් කටයුතු කරන Right to Protein සංවිධානයේ තවත් එක් සාර්ථක ප්‍රජා සත්කාරයක් ලෙසින් මෙම බිත්තර බෙදාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර, එය මෙරට ජනතාවගේ ප්‍රෝටීන් පරිභෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් එම සංවිධානයේ දක්වන අප්‍රතිහත කැපවීමද පෙන්නුම් කළ සුවිශේෂී අවස්ථාවකි. 


Share with your friend
Exit mobile version