Site icon Eyeview Sri Lanka

SLIIT, 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2024 හිදී විශිෂ්ට දක්ෂතා විදහා දක්වමින් සම්මාන රැසක් දිනා ගනී

Share with your friend

SLIIT පසුගියදා පැවති 26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ (National ICT Awards) – NBQSA 2024 විශිෂ්ට වූ දක්ෂතා විදහා දක්වමින්, සම්මාන රැසක ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය. SLIIT ආයතනය වසර ගණනාවක් පුරා, සෑම විටකම නවීන ව්‍යාපෘති එළිදැක්වීමේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින්, සම්මාන රැසක පිළිගැනීමට පාත්‍ර වී තිබේ. මෙම වසරේදී SLIIT ආයතනය එක් රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් ඇතුළුව අතිවිශිෂ්ට සම්මාන පෙළක් දිනා ගැනීමට සමත්ව ඇත.

තොරතුරු තාක්ෂණය (IT) සඳහා බලයලත් ආයතනයක් වන BCS ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද වාර්ෂික සම්මාන උළෙල Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝබර් මස 23 වන දින පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ සමරමින්, විශේෂයෙන්ම උසස් තත්ත්වයෙන් යුත් තාක්ෂණික නිපැයුම් සහ විසඳුම් හඳුන්වාදුන් පුද්ගලයන් සහ ආයතන ඇගයීමට ලක් කෙරිණි.

SLIIT හි පරිගණක විද්‍යා පීඨයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නුවන් කෝදාගොඩ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”26 වැනි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල NBQSA 2024 හිදී SLIIT ආයතනය, විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීම තුළින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සහ නවෝත්පාදනයන් සඳහා අපි අඛණ්ඩව කරනු ලබන කැපවීම මනාව පිළිබිඹු වෙනවා. SLIIT හි සිසුන් හා පීඨය විසින් නැවත වරක් ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතාවයන් එළිදක්වමින් ආයතනයට අතිමහත් වූ අභිමානයක් ගෙන දී තිබෙනවා.”

SLIIT වෙත පිරිනැමෙන පැසසුම් තුළින් පෙනී යන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වර්ධනය කිරීම සඳහා ආයතනය විසින් අඛන්ඩව කරනු ලබන කැපවීමයි. SLIIT සිය නවෝත්පාදන ව්‍යාපෘතිය වන ‘FlexiMind’ නම් යෙදුම නිර්මාණය කිරීම වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී රන් සම්මානයක් දිනා ගනු ලැබීය. මෙය අන්තර්සබඳතා සහිත මොඩියුල හරහා, අවශ්‍ය කුසලතා වැඩිදියුණු කරමින්, පෙර මැදිහත්වීමක් හරහා ඉගෙනීමේ ආබාධ සහිත දරුවන්ට සහාය වන ද්විභාෂා යෙදුමකි. තෘතීයික ව්‍යාපාර කාණ්ඩය යටතේ මෙම ව්‍යාපෘතිය ආචාර්ය ඩිල්ෂාන් ද සිල්වාගේ අධීක්ෂණය යටතේ විත්‍යා සංකවී, කෞෂානි විජේසුන්දර, ලෝචනී ජයවර්ධන සහ අරණි විජේරත්න යන සිසුන් විසින් නිර්මාණය කරන ලදී. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය එළඹෙන දෙසැම්බර් මාසයේ බෲනායි හිදී පැවැත්වෙන Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.

එම කාණ්ඩය යටතේම නිර්මාණය කරනු ලැබූ Augmented Reality (AR) යෙදුමක් වන ‘Lankan Legacy’ ව්‍යාපෘතිය රිදී සම්මානය හිමිකර ගනු ලැබිණි. එය පොළොන්නරුව වටදාගේ කේන්ද්‍ර කර ගනිමින් කෘතීම බුද්ධිය (AI) හරහා ඩිජිටල් ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය තුළින් අභාවයට යන උරුමයන් සංරක්ෂණය කරනු ලබන යෙදුමකි. මෙම ව්‍යාපෘතිය ආචාර්ය ඩිල්ෂාන් ද සිල්වාගේ අධීක්ෂණය සහ සමිතා විදානාරච්චිගේ සම අධීක්ෂණය යටතේ නිර්මාණය විය. එම ව්‍යාපෘති කණ්ඩායමට රොව්න්දු යසීඩ්, භූමිකා සාරංගා, විශ්ව ජයවර්ධන සහ හුස්නි හුසේන් යන සිසුන් ඇතුළත් විය.

SLIIT වෙත මෙම සම්මාන උළෙලේදී පශ්චාත් උපාධි කාණ්ඩය යටතේ සේමිණී පෙරේරා විසින් හඳුන්වාදුන් ‘DataEye’ ව්‍යාපෘතිය සඳහා ද තවත් රිදී සම්මානයක් හිමි විය. DataEye යනු තීරණ ගැනීම සඳහා වේගවත්වූ, ක්‍රියාකාරී විශ්ලේෂණ ලබා දෙන, දත්ත වලින් තීක්ෂ්ණ බුද්ධිය ලබා ගන්නා මෙවලමකි. මෙම ව්‍යාපෘතිය ද ආචාර්ය ඩිල්ෂාන් ද සිල්වා විසින් අධීක්ෂණය කරනු ලැබූ අතර එහි බාහිර උපදේශන සේවය ලසිත පෙත්තවඩු මහතා විසින් ලබා දී ඇත.

ක්‍රියාශීලී අයුරින් අක්ෂි ප්‍රතිකාර සඳහා සහාය ලබා ගැනීමට හා ඡායාරූප ඇතුළත් කිරීම් හරහා ‍රෝග නිධානයේ ගැටළු හඳුනා ගැනීමට හැකි වන පරිදි දෘෂ්ටි විතානය සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලැබූ ‘RetinaX’ සෞඛ්‍ය යෙදුම තෘතීයික තාක්ෂණ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානය හිමි කර ගනු ලැබිණි. එම ව්‍යාපෘතිය ආචාර්ය දිනුක විජේන්ද්‍රගේ අධීක්ෂණයෙන් හා ජෙනී ක්‍රිෂාරාගේ සම අධීක්‍ෂණයෙන් ද නිර්මාණය විය. එම ව්‍යාපෘති කණ්ඩායමට තමිඳු ගමගේ, චතුරිකා දොඹේපොළ, කෞශල්‍ය ප්‍රේමරත්න සහ චරිත් ජයසිංහ යන සිසුන් ඇතුළත් විය.

පරිගණක පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා මේ සම්බධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද පැවසීය. ”තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත නායකයින් බලගැන්වීම සඳහා අප කරන කැපවීම සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා ඔවුන් තුළ ඇති උනන්දුව හා රටේ තාක්ෂණික දියුණුව සඳහා SLIIT විසින් කරනු ලබන කාර්යභාරය මෙම ජයග්‍රහණයෙන් මනාව පිළිබිඹු වෙනවා. අපගේ සාර්ථකත්වයට හේතු වූ සියලුම සම්මානලාභීන්ට සහ ඔවුන්ගේ උපදේශකයින්ට ඔවුන්ගේ කැපවීම සහ විශේෂඥතාවය වෙනුවෙන් මම සුබ පතනවා.”

NBQSA 2024 හි විශිෂ්ට ජයග්‍රහණය හරහා SLIIT හි තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ විශිෂ්ටවූ නවෝත්පාදන සම්ප්‍රදාය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවී තිබේ. සම්මානයට පාත්‍ර වූ ව්‍යාපෘති තුනක් අධීක්‍ෂණය කළ ආචාර්ය ඩිල්ෂාන් ද සිල්වාට සහ සිසුන්ගේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා දුන් ආචාර්ය දිනුක විජේන්ද්‍රගේ දායකත්වය SLIIT විසින් ඇගයීමට ලක් කෙරිණි. 


Share with your friend
Exit mobile version