Eyeview Sri Lanka

SLT-MOBITEL තිරසර සංචාරක කර්මාන්තයක් බිහිකිරීම සඳහා පෙරමුණ ගනිමින් යුනෙස්කෝ ලෝක උරුමයක්වන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නව සංඥා පුවරු සවිකරයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ යාවත්කාලීනකරන ලද නව සංඥා පුවරු සවිකිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූනවන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වේ. මෙම පියවර, හෝර්ටන් තැන්න වෙත පැමිණෙන සංචාරකයන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා වැඩි පහසුවක් සලසන අතර එය පාරිසරික සංචාරක කටයුතු සහ සංරක්ෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුවට මනා සාක්ෂියකි.

සෑම වසරකම 200,000 කට අධික පිරිසක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙති. පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන වැඩසටහනක් වශයෙන් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන ඔස්සේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ පරිසර විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව එම සංචාරකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම SLT-MOBITEL හි අරමුණ විය. පැරණි ආයතනික සන්නාමකරණ පුවරු ප්‍රතිස්ථාපනය කරමින් නව සංඥා පුවරු ඉදිකර ඇති අතර, මෙය පාරිසරික උරුමය ආරක්ෂා කිරීමට සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා SLT-MOBITEL තුළ ඇති කැපවීම මැනැවින් නිරූපණය කරයි.

ව්‍යාපෘතිය අවසන්කරන ලද බවට තහවුරු කිරීමේ ලේඛනය SLT-MOBITEL කණ්ඩායම විසින් පසුගියදා හෝර්ටන් තැන්න ප්‍රදේශයේ වන සංරක්ෂණ නිලධාරී වෙත නිල වශයෙන් භාරදෙන ලදී. එය අදාළ ව්‍යාපෘතිය අවසන් බව නිල වශයෙන් දැනුම් දීමක් මෙන්ම, දෙපාර්ශ්වය විසින් පරිසර සංරක්ෂණය උදෙසා පවත්වාගෙන යන හවුල්කාරීත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමක්ද වේ. 

1988 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස නම්කරන ලද හෝර්ටන් තැන්න, ආවේණික සත්ත්ව විශේෂ ගණනාවක් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර එය වන සතුන්ගේ පාරාදීසයක්ද වේ. මෙම වැඩසටහන, ප්‍රජාව සම්බන්ධ කරගනිමින් වටිනා පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා SLT-MOBITEL දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැක. 

මෙම යුනෙස්කෝ ලෝක උරුමය වෙනුවෙන් මැදිහත්වන එකම සමාගම බවට පත්වෙමින්, ශ්‍රී ලංකාවේ තිරසර සංචාරක කර්මාන්තයට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව SLT-MOBITEL නිහතමානීව සතුටු වෙයි.


Share with your friend
Exit mobile version