SLT-MOBITEL වෙතින් Hack:AI 2021 සඳහා අනුග්‍රහය

Share with your friend

ගෝලීය තිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීම සඳහා Artificial Intelligence (AI) සහ Machine Learning තාක්ෂණය භාවිතා කිරීමේ උත්සාහයට අත්වැලක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘Hack:AI 2021 Hackathon’ වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ගෝලීය තිරසාර සංවර්ධන අරමුණු ළඟාකරගැනීම සඳහා Artificial Intelligence (AI) සහ Machine Learning තාක්ෂණයන් භාවිතා කරමින් පෙරළිකාරී නව සොයාගැනීම් දිරිගැන්වීම මෙහි අරමුණ වී ඇත. 

අන්තර් පාසල් සහ අන්තර් විශ්ව විද්‍යාලයීය වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන Hack:AI 2021 වැඩසටහන තුළදී, Data Science සහ Machine Learning තාක්ෂණ භාවිතා කරමින් නවෝත්පාදන බිහිකිරීමට තරගකරුවන්ට අවස්ථාව ලැබේ. මෙමගින් සමාජයට යහපතක් සිදුකිරීමේ ජාතික මට්ටමේ උත්සාහයට දායක වෙමින්, තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම සඳහා විසඳුම් යෝජනා කිරීමට ඔවුන්ට මහඟු අවස්ථාවක් උදා වනු ඇත. 

Hack:AI 2021 Hackathon වැඩසටහනේ Platinum අනුග්‍රාහකයා ලෙස දායක වීමේදී SLT-MOBITEL හි තවත් අපේක්ෂාවක් වූයේ, තරුණ පරපුරේ දක්ෂතා හඳුනා ගනිමින්, ඔවුන්ට එම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට අත්වැලක් වීම ය. එමෙන්ම මේ ඔස්සේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය හා ගණිතය යන විෂයන් ඔස්සේ තරුණ පරපුරේ නිර්මාණශීලී චින්තනය අවදි කරමින්, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නියමුවා ලෙස තම වගකීම නැවත වරක් ඉටුකිරීමට ද SLT-MOBITEL සමාගමට හැකියාව ලැබී තිබේ. 

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු ශිල්පය හා ගණිතය යන විෂයන් සම්බන්ධ කුසලතා වැඩිදියුණු කරමින් සිසු සිසුවියන්ට එම ක්ෂේත්‍ර වලට සම්බන්ධ රැකියා අවස්ථා උදාකර ගැනීමට අත්වැලක් වන STEMUP Educational Foundation,  SLASSCOM (Sri Lanka Association for Software and Services Companies) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme (UNDP) එක්ව Hack:AI 2021 Hackathon සංවිධානය කරයි. 

මෙම තරගයේ පාසල් කාණ්ඩය අවුරුදු 13 ත් 18 ත් අතර සිසු සිසුවියන්ට ද, විශ්ව විද්‍යාලය කාණ්ඩය අවුරුදු 19 ත් 25 ත් අතර සිසු සිසුවියන්ටද විවෘත වන අතර, සෑම කණ්ඩායමක්ම එකම පාසලක හෝ විශ්ව විද්‍යාලයක සිසුන් 3 ත් 5 ත් අතර සංඛ්‍යාවකින් සමන්විත වනු ඇත. සෞඛ්‍යය හා යහපැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, තිරසාර නගර හා ප්‍රජාවන්, කර්මාන්ත, නවෝත්පාදන හා යටිතල පහසුකම් සහ වගකීම් සහගත පරිභෝජනය හා නිෂ්පාදනය වැනි එක් එක් තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ නව නිර්මාණ සිදුකිරීමට මෙම කාණ්ඩ දෙකටම අවස්ථාව හිමි වේ. 

පාසල් කාණ්ඩය සඳහා Ideathon වැඩසටහනක් පවත්වනු ලබන අතර එහිදී තම ප්‍රජාව තුළ පවතින අභියෝග විසඳීම සඳහා නව විසඳුම් නිර්මාණය කිරීමට සිසු සිසුවියන් යොමුකරවනු ලැබේ. විශ්ව විද්‍යාලය කාණ්ඩයේ තරගකරුවන්ට Datathon හෙවත් දත්ත කේන්ද්‍ර කරගත් Hackathon වැඩසටහනකට සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී ඔවුන්ට තම නිර්මාණශීලීත්වය සහ දත්ත විද්‍යා කුසලතා භාවිතා කරමින් නිර්මාණ සිදුකිරීම සඳහා දත්ත කට්ටලයක් සහ නිශ්චිත කාලයක් ලබා දෙනු ඇත. ගැටලු හඳුනාගැනීම, විවේචනාත්මක චින්තනය/ ගැටලු විසඳීමේ කුසලතා, නවෝත්පාදන හැකියාව සහ AI තාක්ෂණය භාවිතා කිරීම යනාදී සාධක සැලකිල්ලට ගනිමින් ජයග්‍රාහකයන් තෝරාගනු ලැබේ. 

පාසල් සහ විශ්ව විද්‍යාල අංශ යටතේ අයදුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබුණු අතර, ඇගයීම් කටයුතු අවසන් වීමෙන් පසු මාර්තු මසදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වේ. 

මෙම Hackathon වැඩසටහන නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය දිරිගන්වමින්, තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂතා සහිත නවකයන්ට තම හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මහඟු අවස්ථාවක් උදාකර දෙනු ඇතැයි SLT-MOBITEL විශ්වාසය පළකරයි. මෙම තරගයට සහභාගිවන්නන් සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට අති නවීන තාක්ෂණයන් භාවිතා කරනු ඇති අතර, අනාගත අවශ්‍යතා සඳහා තිරසාරත්වය සහ නව තාක්ෂණික නවෝත්පාදන කෙතරම් දුරකට වැදගත් වන්නේ ද යන්න මැනවින් අවබෝධ කරගැනීමේ අවස්ථාවක් ඔවුන්ට හිමිවනු ඇත.  


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply