SLT-MOBITEL සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්වී ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් හඳුන්වා දෙයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග එක්වී, මහජනතාවගේ පහසුව පිණිස ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීම සඳහා විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. 

මෙම ගිවිසුමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සහ සාමාන්‍යධිකාරී තිළිණ විජේතුංග මහතා විසින්ද, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ප්‍රධාන නිලධාරී ව්‍යාපාර සන්නිවේදන ලක්මාල් ජයසිංහ මහතා විසින් ද අත්සන් තබන ලදී. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ. 

මෙම ගිවිසුම යටතේ SLT-MOBITEL විසින් 1939 කෙටි අංකය හරහා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවා සම්බන්ධයෙන් මහජනතාව සිදුකරන විමසීම්වලට පිළිතුරු ලබාදීම සඳහා ගාස්තු රහිත ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් පවත්වාගෙන යනු ඇත. මෙමගින් ස්වයං සේවාවන් මෙන්ම නියෝජිත සහය සේවාවන් ද හිමි වේ. 

එමෙන්ම 0112 044800 අංකය හරහා ක්‍රියාත්මක වන WhatsApp සහ Smart Chatbot සේවාවක් ද මීට ඇතුළත් වනු ඇත (මෙම අංකය දුරකථනයේ Contacts වලට ඇතුළත් කර WhatsApp හරහා Hi ලෙස ටයිප් කිරීම මගින් සේවාව භාවිතා කළ හැකි වේ). මෙමගින් රටේ සියලුම පුරවැසියන්ට වඩාත් පහසු හා ගුණාත්මක සේවාවක් ලබාදීමට ජාතික ජල සම්පාදන මණ්ඩලයට අවස්ථාව ලැබෙනු ඇත. 

“ජාතියක් ලෙස අප පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් වල වෙනසක් අත්දකිමින් සිටිනවා. මෙම තත්ත්වය හමුවේ, සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යන අතරම පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන දියුණු ක්‍රමවේදයක් අපට අවශ්‍ය වුණා. ශ්‍රී ලංකාවේ තාක්ෂණික නවෝත්පාදනයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන SLT-MOBITEL සමග අප අත්වැල් බැඳගත්තේ ඒ නිසයි. මේ ඔස්සේ අපට, නවීන හා පාරිභෝගික කේන්ද්‍රීය ආයතනයක් වශයෙන් පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සේවාවක් සහ උපරිම පහසුවක් ලබාදෙන ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙනවා.” ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පැවසුවේය. 

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යනු රටේ ජල කළමනාකරණය සහ සනීපාරක්ෂක සේවාවන් සම්බන්ධයෙන් ප්‍රමුඛතම භූමිකාවක් ඉටුකරන ආයතනයක්. SLT-MOBITEL හි තාක්ෂණික විශේෂඥභාවය සහ ඇමතුම් මධ්‍යස්ථාන දැනුම භාවිතා කරමින් එම ආයතනය සඳහා අතිනවීන ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් ආරම්භ කිරීමට අප පියවර ගත්තා. මේ ඔස්සේ පාරිභෝගිකයන්ගේ විමසීම්වලට කාර්යක්ෂම ලෙස පිළිතුරු සපයමින්, සේවා මට්ටම වැඩිදියුණු කරමින් පාරිභෝගික විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට එම ආයතනයට හැකියාව ලැබේවි.” SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply