SLT-MOBITEL, උතුරු පළාතේ පාරිභෝගික සහ ජනතා අවශ්‍යතා හඳුනාගැනීමේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙයි

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL උතුරු පළාතේ සිය ගනුදෙනුකරුවන්ගේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා සහ අභිලාෂ වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා පසුගියදා එම පළාතෙහි ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. 

සමාගමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ඇතුළුව 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම චාරිකාවට එක්වූ අතර, චාරිකාව පුරාම ඔවුහු පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම ද විශේෂත්වයක් විය. ක්ෂේත්‍ර චාරිකා සඳහා වැයවන පිරිවැය සීමා කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙන්ම, ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ දරමින් සිටින මොහොතක සමාගමක් වශයෙන් ලාභදායී ප්‍රවාහන ක්‍රම භාවිතා කිරීමේ ආයතනික සම්ප්‍රදායක් ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. 

මෙම කණ්ඩායම SLT-MOBITEL ගනුදෙනුකරුවන්, සාමාන්‍ය ජනතාව, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයින්, සිසුන් සහ ජනමාධ්‍ය නියෝජනය කරන පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනෙකු හමුවී ඔවුන්ගේ අභිලාෂ පිළිබඳව දැනුවත්භාවයක් ලබාගන්නා ලදි. වර්තමානයේ ඔවුන් මුහුණ දෙමින් සිටින අභියෝග කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. 

මෙහිදී අදහස් දක්වමින් SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, සමූහයේ අනාගත වර්ධන සැලසුම් තුළ උතුරු පළාතට විශේෂ ස්ථානයක් හිමිවන බවයි. “SLT-MOBITEL යනු රටේ දුරකථන සන්නිවේදනයෙහි සහ තාක්ෂණයෙහි ජීවනාලියයි. සමාගම ආරම්භ වූ දා පටන්ම උතුරු පළාතේ ඉංජිනේරුවන් ඊට දායක වී තිබෙනවා. වසර 40කට අධික කාලයක් තිස්සේ අපගේ කාර්ය මණ්ඩලය සහ කාර්යාල උතුරු පළාතේ සිට ක්‍රියාත්මක වෙමින් අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ස්ථාවර සහ විශ්වාසනීය සම්බන්ධතා පහසුකම් ලබාදීමට කටයුතු කළා. දිවයිනේ දෙවැනි උසම දුරකථන කුලුන අප පිහිටුවා තිබෙන්නේත් උතුරු පළාත තුළයි. රට පුරා බොහෝ අංශ බලගන්වන යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා උතුරු පළාත සහ එහි ජනතාව තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. දැන්, මෙම අභියෝගාත්මක කාලසීමාවේදී, මෙම පළාතේ ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට සහාය වීමට SLT-MOBITEL කළ යුත්තේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට අපට අවශ්‍යයි. ඉදිරි මාස වලදී මෙම පළාතේ තවත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයක නිරත වීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම පළාතේ ජීවත්වන අපගේ සහෝදර සහෝදරියන්ට අත්වැලක් වීමට අපට හැකි සියලුම දේ කිරීමට අප සූදානම්” රොහාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය. 

විදුලි සංදේශ සහ තාක්‍ෂණික ජාලය ශක්තිමත් කිරීම සඳහා SLT-MOBITEL කණ්ඩායම සුප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතෙහිද සංචාරයකද නිරත විය. එය, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතාගේ සංවර්ධන අභිලාෂවලට ද සමපාත වූ චාරිකාවකි.  

ඓතිහාසික, භූගෝලීය හා ක්‍රමෝපායික වශයෙන් වැදගත්වන ඩෙල්ෆ්ට් දිවයින සංචාරක කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පවතී. එසේ කිරීම මගින් දූපතෙහි වෙසෙන 5,000කට අධික පිරිසට මෙන්ම සමස්තයක් ලෙස උතුරු පළාතේ බොහෝ පිරිසකට ප්‍රතිලාභ සැලසෙනු ඇත. 

මෙම ක්ෂේත්‍ර චාරිකාව අතරතුර SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව කණ්ඩායම යාපනයේ සිය කාර්යාලවල සේවක සේවිකාවන් සහ ප්‍රාදේශීය කණ්ඩායම් ප්‍රධානීන් හමුවී, එම සේවක සේවිකාවන්ගේ සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සේවා වැඩිදියුණු කළ හැකි ආකාරය සොයා බැලී ය. මෑතකදී SLT-MOBITEL විසින් උතුරු පළාතේ පාරිභෝගිකයන් වෙනුවෙන්ම සැලසුම් කළ, එම පුද්ගලයන්ට, ප්‍රජාවන්ට සහ ව්‍යාපාරවලට වර්තමාන දුෂ්කර ආර්ථික පරිසරය තුළ ප්‍රතිලාභ රාශියක් ලබා දෙන ‘Kalo Kalo’ නම් විශේෂ පැකේජයක් ද හඳුන්වා දෙන ලදි. ඊට අමතරව SLT-MOBITEL එම පළාත වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ තවත් නිෂ්පාදන හා සේවා රැසක් මේ වනවිට හඳුන්වා දී තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply