Eyeview Sri Lanka

SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර හවුල්කාරිත්වය දීර්ඝ කෙරේ 

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර දිගු කලක පටන් පවතින හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය විසින් පසුගියදා පියවර ගන්නා ලදි. මෙය රාජ්‍ය අංශය තුළ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයන්ට  ඩිජිටල් තාක්ෂණික පහසුකම් සමීප කරවීම සඳහා ගනු ලබන සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. දෙපාර්ශ්වය අතර පවතින මෙම අතිසාර්ථක හවුල්කාරීත්වයකට දශකයකට අධික ඉතිහාසයක් ඇත. 

Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා සමග අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්

අලුත් කරන ලද හවුල්කාරීත්වය යටතේ රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන්ට ඩිජිටල් උපාංග පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම සඳහා හඳුන්වා දී තිබූ ක්‍රමවේදය තවදුරටත් දීර්ඝ කර තිබේ. මෙම ක්‍රමවේදය හේතුවෙන් විශ්‍රාමිකයන්ට විශාල මුදලක් එකවර ගෙවීමෙන් තොරව, තරගකාරී වෙළඳපොළ මිලගණන් යටතේ ස්මාර්ට් දුරකථන සහ වෙනත් ඩිජිටල් උපාංග මිලදී ගැනීමට අවස්ථාව හිමි වී ඇත. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ එහි පහසු ගෙවීමේ ක්‍රමය සකස් කර ඇති ආකාරයයි. ඒ යටතේ මාසික වාරිකය විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුපෙන් අඩුකර ගැනෙන බැවින් ඔවුන්ට ගෙවීම් සම්බන්ධයෙන් දුෂ්කරතා ඇති නොවේ.  

මෙම ක්‍රමය යටතේ විශ්‍රාමිකයන්ට නවතම ස්මාර්ට් දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එලෙස ස්මාර්ට් දුරකථන මිලදී ගන්නා විශ්‍රාමිකයන්ට, ඔවුන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුප්‍රකට SLT-MOBITEL ‘උපහාර’ පැකේජයද ලබාගත හැක. මෙම වැඩපිළිවෙළ මගින් රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටු කර විශ්‍රාම ගිය පුද්ගලයන්ට නවීන තාක්ෂණය ඔස්සේ ලෝකය සමග සම්බන්ධ වීමටත්, ඔවුන්ට වැදගත් වන මාර්ගගත සේවාවන් ලබාගැනීමටත්, ක්‍රමයෙන් ඩිජිටල්කරණය වන ලෝකයේ එදිනෙදා කටයුතුවලට සක්‍රීයව දායක වීමටත් අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙමගින් නවීන ලෝකයට මුහුණ දීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදෙමින් ඔවුන් සවිබල ගන්වනු ලබයි. 

මෙම ක්‍රමවේදයට අමතරව මෙම හවුල්කාරීත්වය හරහා විශ්‍රාමිකයන් වෙනුවෙන් සැලසුම් කළ සෞඛ්‍ය කඳවුරු ඇතුළු වැඩසටහන් රැසකට සහයෝගය ලබාදීමටද SLT-MOBITEL පියවර ගෙන ඇත. විශ්‍රාමික රජයේ සේවකයන්ගේ යහපැවැත්ම තහවුරු කරමින් ඔවුන්ගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මෙමගින් මැනැවින් පිළිබිඹු වේ. 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.sltmobitel.lk.


Share with your friend
Exit mobile version