Eyeview Sri Lanka

SLT-SERVICES විසින් සමෘද්ධි බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය දේශීය ඩිජිටල් බැංකුකරණ විසඳුමකින් බලගන්වයි

Share with your friend

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගමක් වන Sri Lanka Telecom Services Limited (SLT-SERVICES) සමාගම, සමෘද්ධි බැංකුවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සඳහා එම බැංකුව සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වයේ එක් පියවරක් වශයෙන්, SLT-SERVICES සමාගම විසින් සම්පූර්ණයෙන්ම දේශීයව නිර්මාණය කරන ලද “FinOps” නම් ඩිජිටල් ‘Core Banking’ මෘදුකාංගය හඳුන්වා දෙන ලදි. මෙමගින් ඉදිරි වසර 5 ක කාලය තුළ දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු ශාඛා 900 කට අධික සංඛ්‍යාවක බැංකු සේවා කටයුතු නවීකරණය හා ප්‍රශස්තකරණය කිරීමට හැකි වනු ඇත.

SLT-SERVICES හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල සී. ආර්. ගලප්පත්තිගේ මහතා (වමේ) සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සී. ඩී. කළුආරච්චි මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. SLT-SERVICES අලෙවිකරණ ප්‍රධානී ඉන්දික බණ්ඩාර තම්මිට මහතා (වමේ) සහ එම සමාගමේ සාමාන්‍යාධිකාරී (ජාලය හා විසඳුම්) ධම්මික කරුණාරත්න මහතාද ඡායාරූපයෙහි සිටිති. 

SLT-SERVICES සමාගමේ කණ්ඩායමක් විසින්ම නිර්මාණය කරන ලද FinOps Digital Core Banking පද්ධතිය සැලසුම්කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ආයතන මුහුණ දෙන සුවිශේෂී අභියෝග හා අවස්ථාවන්ට ගැළපෙන අයුරිනි. කාර්යක්ෂම ඩිජිටල් අතුරු මුහුණත්, ක්‍ෂේත්‍ර එකතු කිරීම් සහ ස්වයංක්‍රීය කාර්ය ප්‍රවාහ සඳහා ජංගම යෙදුමක් ඇතුළු උසස් විශේෂාංග රැසක් ඊට ඇතුළත් වී තිබේ. එහි ශක්තිමත් ආරක්ෂක රාමුව සහ මොඩියුලර් සැකැස්ම නිසා එය වඩාත් පහසුවෙන් අනුගත කිරීම සහ පරිමාණය කිරීම සිදුකළ හැකි අතර, ඒ නිසා එය සමෘද්ධි බැංකුවට තම මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා කදිම විසඳුමක් වනු ඇත.

FinOps ක්‍රියාවට නැංවීමත් සමග පහසුවෙන් භාවිතා කළ හැකි මෙවලම් සමගින් ගනුදෙනුකරුවන්ට ඉතා උසස් අත්දැකීම් ලබාදීමටත්, ස්වයංක්‍රීයකරණය ඔස්සේ අතින් කරන ක්‍රියාවලි අඩු කිරීමටත්, වඩාත් නිවැරදි තීරණ ගැනීම සඳහා තථ්‍ය කාලීන විශ්ලේෂණ ලබාගැනීමටත් සමෘද්ධි බැංකුවට හැකියාව ලැබේ. මෙමගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ යන අතරම එය මෙරට ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රජාවන් අතර විශ්වාසය දිනූ මූල්‍ය සහකරුවෙකු ලෙස සමෘද්ධි බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු වනු ඇත.

මෙම ආයතන දෙකම ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත් කැපවීමක් බෙදාහදා ගන්නා අතර, වර්ධනය සහ අවස්ථා සඳහා සමාන ප්‍රවේශය සඳහා වූ හවුල් දැක්මක් මත පදනම් වේ. මෙම හවුල්කාරිත්වය හරහා සමෘද්ධි බැංකුව සිය විවිධ වූ පාරිභෝගිකයන් වෙත නවීකරණය කරන ලද බැංකු සේවා සැපයීම, ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ ජාතියේ ආර්ථික සංවර්ධනයට දායක වීම අරමුණු කරයි.

අපට අයිති විසඳුම වන ‘FinOps’ ඩිජිටල් මූලික බැංකු පද්ධතිය, සංකීර්ණ අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය නවෝත්පාදනයේ විභවය නිදර්ශනය කරයි,” SLT-SERVICES හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල C. R. ගලප්පත්තිගේ මහතා ප්‍රකාශ කළේය. “සමෘද්ධි බැංකුව සමඟ ඩිජිටල් වශයෙන් සවිබල ගැන්වූ මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ ඔවුන්ගේ මෙහෙවරට සහයෝගීව කටයුතු කිරීමට ලැබීම අප හට ගෞරවයක් වන අතර ප්‍රමුඛ පෙළේ ICT විසඳුම් සපයන්නෙකු ලෙස අපගේ ගෞරවනීය ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිලකට තිරසාර විසඳුම් ලබා දීමට අපි කැපවී සිටිමු.

සමෘද්ධි බැංකුව නියෝජනය කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් C. D. කළුආරච්චි මහතා සඳහන් කළේ, “SLT-SERVICES විසින් සංවර්ධනය කරන ලද ඩිජිටල් බැංකුකරණ ප්ලැට්ෆෝමය සමෘද්ධි වැඩසටහනේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් එහි සකස් කරන ලද විශේෂාංග සහ පරිමාණය ප්‍රතිලාභීන්ගේ අපේක්ෂාවන් ඵලදායි ලෙස සපුරාලීමට දෙපාර්තමේන්තුවට බලය ලබා දෙන බවත්, එමඟින් රට පුරා සමාන මූල්‍ය සේවා සැපයීම සඳහා අපගේ කැපවීම ශක්තිමත් කරන බවත් ය.

මෙම ව්‍යාපෘතියට දේශීය ශ්‍රමය සහ සම්පත් භාවිතා කිරීම නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රට තුළම රඳවා ගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම එය අනාගතයේදී දේශීයව නිර්මාණය කරන ලද, උසස් තාක්ෂණයෙන් යුත්, අඩු වියදමකින් ලබාගත හැකි Core Banking මෘදුකාංග භාවිතා කළ හැකි බව මැනැවින් පෙන්වා දුන් ව්‍යාපෘතියක් ලෙසද හැඳින්විය හැක.

SLT-SERVICES පිළිබඳව

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT-SERVICES, ආයතනික ජාලකරණය, දත්ත මධ්‍යස්ථාන සේවා, ක්ලවුඩ් තාක්ෂණය පදනම් කරගත් විසඳුම්, සයිබර් ආරක්ෂාව සහ සේවාදායකයන්ට අවශ්‍ය පරිදි මෘදුකාංග නිර්මාණය කිරීම වැනි සේවාවන් රැසක් පිරිනමන ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සමාගමකි. 1993 වසරේදී ආරම්භ කරන ලද එම සමාගමේ මූලික අරමුණ වන්නේ, දේශීය වශයෙන් නිර්මාණය කරන ලද, අනාගතයට ගැළපෙන FinOps සහ Digital Core Banking System වැනි විසඳුම් පිරිනමමින්, තම මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගනිමින් දියුණුව කරා ගමන් කිරීමට සමාගම් හා ආයතනවලට අත්වැලක් වීම ය.

සමෘද්ධි බැංකුව සහ eSamurdhi පිළිබඳව

සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ සමාජ සුභසාධන රාමුව තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරයි. දිවයින පුරා ශාඛා 1,000 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා ඇති සමෘද්ධි බැංකුව මෙම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වේ. රටේ අඩු ආදායම්ලාභීන් ජාතික ආර්ථිකය සමග සම්බන්ධ කරමින් ඔවුන්ට තිරසාර සමෘද්ධියක් ළඟා කරගැනීමට මගපෙන්වීම සඳහා සමෘද්ධි බැංකුව සහ එහි ශාඛා මගින් සුවිශාල මෙහෙවරක් ඉටු වේ.

සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන නිරන්තර උත්සාහයේ එක් පියවරක් වශයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් e-Samurdhi ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම නව්‍ය ප්‍රයත්නය, ශ්‍රී ලංකාවේ සමෘද්ධි අධිකාරියේ ක්‍රියාකාරකම් නවීකරණය කිරීම සඳහා තබන ලද කැපීපෙනෙන ඉදිරි පියවරකි. e-Samurdhi ව්‍යාපෘතිය මගින් ජාතික හා ප්‍රාදේශීය මට්ටම්වල සමෘද්ධි බැංකු ක්‍රියාකාරකම් කාර්යක්ෂම කිරීම සඳහා පරිපූර්ණ, මධ්‍යගත විසඳුමක් හඳුන්වා දී ඇත.

e-Samurdhi යනු උසස් බැංකුකරණ පද්ධතියකි. සමෘද්ධි වැඩසටහනේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම යන මූලික අරමුණ පෙරදැරිව එය හඳුන්වා දී ඇත.  මෙම අතිනවීන පද්ධතිය ප්‍රතිලාභීන්ට මාර්ගගත ක්‍රමයට පුළුල් පරාසයක පැතිරුණු බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් ඔවුන් සවිබල ගන්වයි.


Share with your friend
Exit mobile version