එකතු කළ අගය මත බද්ද (VAT) පිළිබඳ වර්තමානය වන විට රටපුරා විවිධ කතා බහ සිදු කෙරෙමින් පවතී. පටු දේශපාලනික අරමුණු, නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා සහ අවස්ථාවාදී වෙළෙඳුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ පිළිබඳ ව විවිධ වැරදි මතවාද සමාජගත වෙමින් පවතී. ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග සමඟ පොරබදමින් සිටින වර්තමානයේ ස්ථාවරත්වය සහ තිරසාර වර්ධනය වෙනුවෙන් ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය කිරීම තීව්‍ර කිරීම අත්‍යවශ්‍ය විසඳුමක් බවට පත් ව තිබේ. මෑත කාලීන ආර්ථික අර්බුදයට මෙරට බදු ක්‍රියාවලියේ ඇති දුර්වලතා ද යම් ප්‍රමණයකින් හේතු වී ඇති. ගෝලීය මට්ටම හා සසඳන කල ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතික බදු ප්‍රතිශත ඉතා අවම මට්ටමක පවතින අතර, එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 7.3%කි. වර්ෂ 2026 වන විට මෙම අනුපාතය 14% දක්වා දෙගුණ කිරීම IMF ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අරමුණ වන අතර, රටක බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් පමණ වන විට එම රට ඉහළ වර්ධනයක් කරා ගෙන යා හැකි බවය ඕනෑ තරම් සාක්ෂි ඉදිරිපත් කළ හැකිය.
සාම්ප්‍රදායික විකුණුම් බද්දෙන් වෙනස් වන VAT, භාණ්ඩ හා සේවා සඳහා අදාළ වන ඍජු බද්දක් ලෙස හැඳින්විය හැකි අතර, පාරිභෝගිකයන් අලෙවිසැලේ දී සම්පූර්ණ මුදල ගෙවනවා වෙනුවට, VAT බද්ද මගින් ගනුදෙනුව පුරා බදු බර බෙදා ගැනීම සඳහා විවිධ පාර්ශ්වයන් සම්බන්ධ කරයි. 2024 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 15% සිට 18% දක්වා වර්ධනය වූ ශ්‍රී ලංකාවේ සම්මත වැට් බදු අනුපාතය ආනයනික භාණ්ඩ, තොග සහ සිල්ලර වෙළෙඳ කටයුතු සහ විවිධ සේවාවන් සඳහා අදාළ වේ.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අනෙකුත් බොහෝ රටවල තත්ත්වයට වඩා සංකීර්ණ වේ. ජනාධිපතිවරයා මෙන් ම මහබැංකු අධිපතිවරයා සියලුම මූල්‍ය ආයතන වෙත බහුවිධ ඉල්ලීම් සිදු කළ ද, පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික සංවර්ධන අවශ්‍යතා සඳහා අභියෝගයක් බවට පත් වී ඇත. රටේ පවතින වත්මන් තත්ත්වයට වසර ගණනාවක් තිස්සේ පවතින දුර්වල මූල්‍ය කළමනාකරණය මෙන් ම කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් පසුගිය රජයන් සහ වගකිව යුතු මූල්‍ය ආයතන ගත් තීරණ ප්‍රධාන වශයෙන් බලපා ඇත.
රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීම සඳහා බදුකරණය හරහා ආදායම් වැඩිකර ගැනීම අත්‍යවශ්‍ය විසඳුමක් වන අතර, බදු ඉහළ දැමූ විට ආර්ථිකයේ ඇති විය හැකි හැකිලීම වළක්වා ගැනීමට රජය විසින් සියුම් තුලනය කිරීමේ ක්‍රියාවලියක් දියත් කරමින් සිටී.
සංශෝධිත VAT බදු නිදහස් කිරීම්:
VAT බද්ද වැඩි කළ ද තිරිඟු, තිරිඟු පිටි, සහල්, සහල් පිටි, පාන් සහ ළදරු කිරිපිටි වැනි ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉන් නිදහස් කර ඇති අතර, රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා, ඖෂධ, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද ශල්‍ය ද්‍රව්‍ය, ආයුර්වේද නිෂ්පාදන ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන VAT බද්දෙන් තොරය. මූල්‍ය සේවා, ආනයන බදු නිදහස් කිරීම්, අපනයන, අධ්‍යාපන සහ පොදු ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර ආශ්‍රිත බදු නිදහස් කිරීම් හෝ ශුන්‍ය ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළ යුතු ම ය. මෙම නිදහස් කිරීම් අඩු ආදායම්ලාභී ජනතාව ආරක්ෂා කරමින් VAT බදු එකතු කිරීම් ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීම සඳහා සහයෝගය ලබා දෙයි.
සංශෝධිත VAT බදු නිදහස් කිරීම්වල ප්‍රධාන විශේෂතා:
1. තිරිඟු, තිරිඟු පිටි සහ ළදරු කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය VAT බද්දෙන් නිදහස්ව පවතී.
2. රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා සහ ඖෂධ VAT බද්දෙන් නිදහස් ය.
3. බැංකු ගිණුම් සහ රක්ෂණ ඇතුළු මූල්‍ය සේවා, VAT බද්දෙන් නිදහස් වේ.
4. නම් කර ඇති නිෂ්පාදන සඳහා ආනයන බදු නිදහස් කර ඇත.
5. අපනයන, අධ්‍යාපන සහ පොදු ප්‍රවාහන යන ක්ෂේත්‍ර ආශ්‍රිත ශුන්‍ය ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩ ව ක්‍රියාත්මක වේ.
මේ පිළිබඳ ව අසත්‍ය තොරතුරු ඉතා සීඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යන බැවින්, අදාළ බලධාරීන් VAT බදු ක්‍රියාවලිය පිළිබඳ ජනතාව නිසි අයුරින් දැනුවත් කළ යුතු වේ. කෙසේ වෙතත්, මේ පිළිබඳ ව දැනුවත්භාවයක් නොමැති වීම නිසා ජනතාව කූට වෙළෙඳුන්ගේ සූරාකෑමට ලක් විය හැකි බව ද පැවසිය යුතු ම කරුණකි.
මෙම නව බදු ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීම සඳහා බදු පැහැර හැරීම අවම කර ගත යුතු ය. ඒ සඳහා රජය බදු මුදල් මහජනතාවගේ යහපත සඳහා ම යොදවන බවට ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතු ය. COYLE, ශ්‍රී ලංකාවේ මෑත කාලීන වැට් බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහජනතාව තුළ අප්‍රසාදයක් නිර්මාණය වීමට හේතු වී ඇති ප්‍රධාන කරුණු දෙකක් හඳුනාගෙන තිබේ. ඉන් පළමුවැන්න වන්නේ රාජ්‍ය මුදල් පරිහරණයේ විනිවිදභාවයක් නොමැති වීමයි. පසුගිය රජයන් සහ රාජ්‍ය නිලධාරීන් ඡන්ද පදනම වර්ධනය කර ගැනීම අරමුණු කරමින් දියත් කළ අනවශ්‍ය ව්‍යාපෘති හරහා ඉතා අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නිර්මාණය වූ අතර, මේ වසර තුළ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් මෙම බදු මුදල් පෙර පරිදි අවභාවිත වන්හ් ඇති බවට ජනතාව තුළ අවිශ්වාසයක් පවතී.
දෙවන කරුණ වන්නේ මූල්‍ය අර්බුදයට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන්ගේ වගකීම් විරහිත හැසිරීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව රටට හිතකර ප්‍රතිපත්තිවලට පවා සහාය දැක්වීමට මැලිකමක් දක්වති. මෙම ගැටලුව විසඳමින් ජනතාව තුළ විශ්වාසය ගොඩනැඟීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති පහසුකම් සඳහා වන පිරිවැය සහ ඔවුන්ගේ වියදම් විගණකාධිපතිවරයා විසින් මාසිකව ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඇති සුඛෝපබෝගී වරප්‍රසාද, බහු වාහන සඳහා වන ඉන්ධන කෝටාව, ආරක්ෂාව උදෙසා අධික ලෙස ආරක්‍ෂක හමුදා යොදා ගැනීම යනාදී කාගේත් අවධානයට ලක් වී ඇති අධි වරප්‍රසාද කප්පාදු කිරීමට පියවර ගැනීම ද මේ සඳහා විසඳුමකි. මෙම පියවර මගින් රජයේ බදු අවභාවිතය පිළිබඳ මහජන මතය යහපත් ආකාරයෙන් වෙනස් කිරීමේ හැකියාව පවතින බව ද පැවසිය යුතු ම ය.
මෑත කාලීන VAT බදු වෙනස් කිරීම් පිළිබඳව දැනුවත්ව සිටීම වෙළෙඳුන්ට මෙන්ම මහජනතාවටද ඉතා වැදගත් වේ. එමෙන් ම බදු පරිපාලනය විධිමත් කිරීම, සම්පත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර වෙත යොමු කිරීම සහ තරඟකාරී උපාය මාර්ග හරහා ආදායම ඉහළ නැංවීම ආදී විසඳුම් තුළින් මෙහි උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි ය. එමෙන් ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට VAT බදු වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ද අවධාරණය කළ යුතුය.
මෙම බදු රෙගුලාසි තිරසාර සහ ස්ථාවර ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරා රට මෙහෙයවන අතර, ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මුහුණ දුන් ප්‍රමබතම ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට මෙමබදු මුදල් දාවක වන ආකාරය පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වේ.