එයාර්ටෙල් ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා BOI සමඟින් අඛණ්ඩව අයෝජනය කරයි

Share with your friend

මෙරට වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම විදුලි සංදේශ සේවා ජාල සහ තොරතුරු තාක්ෂණ පද්ධති පුළුල් කිරීමට හා ප‍්‍රශස්ත කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සහ ජාතික විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා වන විදේශ මුදල් ආයෝජන ඍජුවම මෙහෙයවනු ලබන තවත් සන්ධිස්ථානමය ගිවිසුමකට ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය (BOI) සමඟින් පසුගියදා එළැඹුණි.

ඒ අනුව, ඉදිරි වසර දෙක තුළදී, එයාර්ටෙල් විසින් සිය නවතම ආයෝජනයන් සිය ජාලයේ අමතර වැඩිදියුණු කිරීම් සඳහා යොමු කරනු ඇති අතර දිවයින පුරා විසිර ඇති 2G සහ 4G සේවාවන් තවත් ශක්තිමත් කිරීම සඳහා වන සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් සඳහා ද යොදා ගනු ඇත. 

මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ”2007 දී ශ‍්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් ආරම්භ කළ දා සිට ජාත්‍යන්තර මට්ටමේ ජාල අත්දැකීමක් ලබා දීම සඳහා වන වැඩිදියුණු කිරීම්වලට එයාර්ටෙල් අඛණ්ඩව ආයෝජනය කර තිබෙනවා. අප ගනු ලැබූ මෙම සියලූම ප‍්‍රයත්නයන් තුලින් අද වන විට මිලියන තුනක ශ්‍රී ලාංකික ජනතාවක් සම්බන්ධ කරගැනීමට අපට හැකියාව ලබා දී තිබෙනවා. මීට අමතරව සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථා 2,000 කට වැඩි සංඛ්‍යාවක් ලබා දීමට අප කටයුතු කර තිබෙන අතර අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය හරහා තවත් ශ‍්‍රී ලාංකිකයන් 65,000 කට ජීවත් වීමට ආදායම් උත්පාදනය කර දී තිබෙනවා.’’ යනුවෙනි.

”විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව වෙත කෙරෙන සෑම සෘජු විදේශ ආයෝජනයක්ම අත්‍යවශ්‍ය වී ඇති අවස්ථාවක, අපගේ මෙම ආයෝජනය මගින් මෙරට ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව ගැන එයාර්ටෙල්හි ඇති අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කරනවා. ඒවගේම ශ‍්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවීමට දීප ව්‍යාප්තව අප දරන උත්සාහයන් සඳහා අප නැවත නැවතත් කැපවී සිටිනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවද එයාර්ටෙල් හි ප‍්‍රධාන ජාලය ද ඇතුළුව දැනට පවතින ජාල යටිතල පහසුකම් වෙනස් කිරීම හෝ වැඩිදියුණු කරනු ඇති අතර සැලකිය යුතු software වැඩිදියුණු කිරීම් ද හඳුන්වා දෙනු ඇත.

ඉදිරියේදී එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීමට ලැබෙන සෑම අවස්ථාවක් පසුපස හඹා යන බවද අශීෂ් මහතා මෙහිදී පැවසුවේය. එමෙන්ම ලෝකයේ විශාලතම විදුලි සංදේශ සේවා සමාගම් තුනෙන් එකක් ලෙස රට රටවල් අතර සහයෝගීතාවයන් ඇති කර ගැනීමටත් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාකාරී 5G ජාල නිර්මාණය කිරීම සඳහා උපායමාර්ගික ආයෝජන සඳහා පහසුකම් සැලසීමටත් එයාර්ටෙල් සතු සුවිශේෂී ශක්තිය උපරිමයෙන් භාවිත කරන බව ද ඔහු විශේෂයෙන් සඳහන් කළේය. 

”රට මේ වන විට මුහුණ දී සිටින තීරණාත්මක මොහොතකදී මෙවැනි සැලකිය යුතු සෘජු විදේශ ආයෝජනයක් ලබා දීමට පියවර ගැනීම පිළිබඳව අපි එයාර්ටෙල් ලංකා සමාගමට කෘතඥ වෙනවා. ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි වැදගත් දායකත්වයක් ලබා දීම මගින් ආර්ථිකයේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නව අවස්ථා නිර්මාණය කිරීමට හැකි වන අතර සෘජු විදේශ ආයෝජන රට තුලට ගලා ඒම සඳහා අප ගන්නා උත්සාහයන් සඳහා එය කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකියි.’’ යනුවෙන් ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා පැවසුවේය. 

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ජංගම දුරකතන අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා එයාර්ටෙල් ශ‍්‍රී ලංකා විසින් සිදු කරන ලද සෘජු විදේශ ආයෝජන මාලාවේ නවතම පියවර ලෙස මෙම මෙම එකඟතාවය පෙන්වා දිය හැකිය. එයාර්ටෙල් විසින් මෙරට විදුලි සංදේශ සේවා වෙළෙඳපොල තුළ සිය පැවැත්ම, ධාරිතාව සහ අත්දැකීම්/හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ක‍්‍රියාමාර්ග ගනු ලැබීය. ඒවා අතර එයාර්ටෙල් හි විප්ලවීය 4G Freedom Unlimited පැකේජ සහ මෙරටදී සිදු කළ වාර්තා ගත 5G අත්හදා බැලීම කැපී පෙනේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply