යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

Share with your friend

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවති 2021 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශිෂ්ටතම වාර්ෂික වාර්තා 10 න් එකක් ලෙස ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (Institute of Certified Management Accountants of Sri Lanka – CMA) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. පසුගිය වසරේදීද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වූ අතර, විශිෂ්ටතම මූල්‍ය ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගන්නා අතරම විනිවිදභාවය, වගකීම්සහගත බව, සහ විශ්වාසනීයත්වය යන ගුණාංග ආරක්ෂා කරගනිමින් වාර්තාකරණය සිදුකරන ආයතන වලට මෙම සම්මාන පිරිනැමේ. 

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය සංවිධානය කළ 2021 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර උපසභාපති (මූල්‍ය) රුවන් රුද්‍රිගු මහතා සහ සහකාර කළමනාකාරිනී (සැලසුම් හා අයවැය – මූල්‍ය) සචිනි බණ්ඩාර මහත්මිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙතින් සම්මානය ලබාගත් අවස්ථාව

“ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය වෙතින් නැවත වරක් මෙම සම්මානය හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක්. ඉහළම ගුණාත්මකභාවයකින් යුත් මූල්‍ය වාර්තාකරණ සම්ප්‍රදායක් පවත්වා ගැනීම නිසා අපට මෙම සම්මානය හිමි වුණා. ලොව ඉහළම තලයේ ගිණුම්කරණ ක්‍රමවේදයන් හා ප්‍රමිතීන් අනුගමනය කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. එම ප්‍රමිතීන් ඔස්සේ, ආයතනික යහපාලනය සම්බන්ධ පිළිගත් ආදර්ශයන් අනුව කටයුතු කරමින්, විනිවිදභාවයෙන් යුතුව මූල්‍ය වාර්තාකරණය සිදුකිරීමට අප සමත් වී ඇති බවට මෙම සම්මානය ඉතා හොඳ සාක්ෂියක්. මෙම වාර්තාකරණ විශිෂ්ටත්වය අඛණ්ඩව ඉදිරියටත් පවත්වා ගැනීමට අප බලාපොරොත්තු වනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමෙන් අනතුරුව මෙම සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදුවිය. ජාත්‍යන්තර ඒකාබද්ධ වාර්තාකරණ කවුන්සිලයේ (International Integrated Reporting Council – IIRC)  නියමයන්ට අනුකූලව සිදුකරන ලද මෙම අධ්‍යයනයේදී අදාළ ආයතන වල ක්‍රමෝපාය, ආයතනික පාලනය, කාර්යසාධනය සහ දීර්ඝකාලීන හා තිරසාර වටිනාකම් නිර්මාණය යනාදී සාධක සැලකිල්ලට ගන්නා ලදි. 

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට  දීර්ඝකාලීන අත්දැකීම් ඇති පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2021 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 15.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 47.5 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 250% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. 


Share with your friend