සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 දක්වා 79% කින් වර්ධනය වෙයි 

Share with your friend

  • බදු-පෙර ලාභය රු. මිලියන 7,181 දක්වා 100.75% කින් ඉහළට 
  • සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 39.10% ක් 
  • සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 2023 සැප්තැම්බර් 30 දින වන විට 15.29% ක් 

සෙලාන් බැංකුවේ බදු-පසු ලාභය 2023 වර්ෂයේ මුල් මාස 9 තුළ රු. බිලියන 4.49 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 2.5 ට සාපේක්ෂව, 79.47% ක වර්ධනයක් වන අතර, මෙය අභියෝගකාරී වෙළඳපොළ හා ආර්ථික තත්ත්වයන් ජයගැනීමට සෙලාන් බැංකුව සතු හැකියාවට මනා සාක්ෂියකි. 

2023 වසරේ ප්‍රථම මාස 9 තුළ ලාභදායීත්වය අතින්ද සැලකිය යුතු වර්ධනයක් වාර්තා කිරීමට සෙලාන් බැංකුව සමත් වී ඇත. බැංකුවේ බදු-පෙර ලාභය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 3.577 ට සාපේක්ෂව මෙම වසරේදී රු. බිලියන 7.181 දක්වා 100% කින් වර්ධනය වී තිබේ. සමස්තයක් ලෙස බැංකුවේ ආදායම සහ අක්‍රීය ණය වියදම් අවම වීම මීට බලපා ඇත. 

බැංකුවේ ප්‍රධාන ආදායම් ප්‍රවාහයන් වන ශුද්ධ පොලී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ආදිය වර්ධනය වීම හේතුවෙන් 2023 ප්‍රථම මාස 9 තුළ බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 35.194 ට සාපේක්ෂව 6.19% කින් වර්ධනය වී, රු. බිලියන 37.373 ක් ලෙස වාර්තා වී තිබේ. 

2023 වර්ෂයේ පළමු කාර්තු තුන තුළ සෙලාන් බැංකුවේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 27.960 සිට රු. බිලියන 30.554 දක්වා 9.28% කින් වර්ධනය වී ඇත. ගාස්තු පදනම් කරගත් ආදායම, 2022 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 4.520 ට සාපේක්ෂව, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ රු. බිලියන 5.392 දක්වා 19.29% කින් වර්ධනය වී ඇති අතර, ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ්පත් ආදායම, වෙළඳ කටයුතු මගින් ලැබෙන කොමිස් ආදායම, සහ ප්‍රේෂණවල වර්ධනය මීට මූලික වශයෙන් බලපා ඇත. මීට අමතරව, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ ශුද්ධ පොලී ආන්තිකය 5.98% ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ. 

මෙම කාලසීමාව තුළ බැංකුවේ මුළු පිරිවැය 25.71% කින් ඉහළ ගොස්, රු. බිලියන 13.846 ක් ලෙස වාර්තා වී තිබේ. කාර්ය මණ්ඩලය වෙනුවෙන් විවිධ ප්‍රතිලාභ පිරිනැමීම සහ භාණ්ඩ හා සේවාවන්හි මිලගණන් ඉහළ යාම වැනි සාධක මීට බලපා ඇත. 

2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ සෙලාන් බැංකුවේ අපහායන වියදම් රු. බිලියන 13.447 ක් ලෙස සටහන් වී තිබේ. මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 28.61% ක පහළ යාමකි. සාර්ව ආර්ථික තත්ත්වයේ සිදුවන වෙනස්කම් සහ ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අපහායන ප්‍රතිපාදන සකස් කරන ලදී. 

2023 සැප්තැම්බර් 30 දින වන විට සෙලාන් බැංකුවේ වත්කම් වටිනාකම රු. බිලියන 693 දක්වා වර්ධනය වී තිබිණි. ණය හා අත්තිකාරම් ප්‍රමාණය රු. බිලියන 412 ක් වූ අතර, ශ්‍රී ලංකා රුපියල් සහ විදේශ මුදල් තැන්පතුවල වර්ධනය නිරූපණය කරමින් තැන්පතුවල මුළු වටිනාකම 3.17% කින් වර්ධනය වී, රු. බිලියන 565 ක් ලෙස වාර්තා විය. 

2023 සැප්තැම්බර් 30 දින වනවිට සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය අනුපාතයන් හා දර්ශක ශක්තිමත් මට්ටමක පැවතිණි. බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 15.29% ක් වූ අතර, අනෙකුත් සියලු අනුපාතයන්ද අවම නියාමන මට්ටම්වලට වඩා පැහැදිලි ලෙස ඉහළින් පැවතිණි. සමස්ත ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතයද සියලු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුකූලව 39.10% ක් වැනි යහපත් අගයක් ලෙස වාර්තා වී ඇත. 

දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද, ප්‍රධාන ආදායම් ප්‍රවාහයන්හි විශිෂ්ට වර්ධනයන් වාර්තා කරගනිමින්, ලාභයන්, ආදායම් සහ තැන්පතුද වර්ධනය කරගැනීමට සෙලාන් බැංකුව සමත් විය. ශක්තිමත් ප්‍රාග්ධන හා ද්‍රවශීලතා තත්ත්වයන් සහ විචක්ෂණශීලී කළමනාකරණය හේතුවෙන්, වෙළඳපොළේ අවිනිශ්චිතතාවන්ට ශක්තිමත් ලෙස මුහුණ දීමට බැංකුවට හැකියාව ලැබිණි. 

2023 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ මාස 9 සඳහා සෙලාන් බැංකුවේ හිමිකම් මත ප්‍රතිලාභය 10.54% කි. කොටසක් සඳහා ඉපැයුම රු, 7.30 ක් වූ අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූයේ රු. 4.07 ක් වශයෙනි. කොටසක් සඳහා බැංකුවේ ශුද්ධ වත්කම් වටිනාකම මෙම 2023 සැප්තැම්බර් 30 දිනය වන විට රු. 97.37 ක් විය. 

කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් සහ ශක්තිමත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නංවමින් තිරසාර වර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ. වත්කම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් මූල්‍ය ස්ථාවරත්වය සහ වර්ධනය ළඟාකරගැනීම සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීමට මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල සාක්ෂි දරයි. මෙම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, තම පාර්ශ්වකරුවන් සියලුම දෙනා වෙත වටිනාකම් ලබා දෙන අතරම, ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට කේන්ද්‍රීය දායකත්වයක් ලබාදීම සෙලාන් බැංකුවේ අරමුණ වී තිබේ. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply