සෙලාන් බැංකුව Dragons of Asia Effective 2022 සම්මාන උළෙලේදී රිදී සම්මාන දිනයි

Share with your friend

#ResponsibleMe Covid-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට ඇගයුම්

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම් වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී තිබිණි. 

COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාව තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුවේ සංකල්පයකට අනුව ආරම්භ කළ #ResponsibleMe වැඩසටහනට මෙම සම්මාන උළෙලේ ‘Best Cause, Charity Marketing or Public Sector Campaign’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය. මෙම කාණ්ඩය යටතේ සම්මාන දිනාගැනීමට සමත් වූ එකම බැංකුව සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි. 

2021 වසරේ COVID-19 රෝගය බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පැවති අවස්ථාවේදී, එය පාලනය කිරීම සඳහා සමාජයට නිසි මගපෙන්වීමක් අවශ්‍ය බව සෙලාන් බැංකුවට වැටහිණි. රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරන ලද ආකාරයන්ට අනුව කටයුතු කිරීමට ජනතාව මැළිකමක් දක්වන බවක්ද (pandemic fatigue) මෙම කාලය තුළ නිරීක්ෂණය විය. 

මෙම තත්ත්වය තුළ ජනතාවට මුහුණු ආවරණ පළඳින මෙන් හෝ සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා මෙන් ඉල්ලා සිටීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනී ගිය නිසා, වඩාත් නිර්මාණශීලී ලෙස මෙම මූලික පණිවිඩ ජනතාව අතරට රැගෙන යාමේ අරමුණින් ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව යටතේ සෙලාන් බැංකුවේ COVID-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදි. 

මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්‍ය තුළ කැපීපෙනෙන රැල්ලක් බවට පත්විය. 

දීර්ඝකාලීනව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, රෝගය වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් මූලික කරගනිමින්, තමන්ම වගකීම භාරගෙන කටයුතු කිරීමට ජනතාව යොමුකරවීමේ ප්‍රවේශයක් අවශ්‍ය බව සෙලාන් බැංකුවට වැටහිණි. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්‍යන් තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ. මෙහි ඉදිරි පියවරක් ලෙස, වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්වී සම්මුඛ සාකච්ඡා මාලාවක්ද පවත්වන ලදි. 

“#ResponsibleMe යනු අතිශය කාලෝචිත වැඩසටහනක්. එහිදී සමාජයක් ලෙස අප එකට එක් වී මෙම COVID-19 උවදුරෙන් මිදිය යුතු බවත්, ඒ සඳහා අප සියලුම දෙනාට වගකීමක් පැවරී ඇති බවත් අවබෝධ කරගෙන, ව්‍යාපාරකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් අප එම වැඩසටහන ක්‍රියාවට නැංවූවා. එම කාලයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකියාව තිබුණේ එවැනි ප්‍රවේශයක් තුළින් පමණයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගාමික ද සිල්වා මහතා පැවසී ය. 

“වසංගත රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන්ම සිදුවෙමින් පැවති අවස්ථාවක මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. ඵලදායීතාවට සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධා එල්ල කරන යම් යම් සාධක තිබියදී පවා, මෙය සාර්ථක කරගැනීමට සියලුම දෙනා තම උපරිම දායකත්වය ලබාදුන්නා. අප සමග අත්වැල් බැඳගත් Boutique Agency Network, Third Shift සහ Ogilvy PR යන සමාගම් #ResponsibleMe සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය සුළුපටු නැහැ. එමෙන්ම වැඩසටහන පුරාම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා. සමස්තයක් ලෙස, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා කෙනෙකු තම ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකීම භාරගෙන කටයුතු කළ යුතු බවට වන පණිවිඩය සමාජගත කිරීම සඳහා අප දැරූ උත්සාහය සාර්ථක වුණා.” ගමික ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. 

COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෙලාන් බැංකුව කෙතරම් වැදගත් මෙහෙවරක් ඉටුකර තිබේද යන්නේ, මෙවැනි ජාත්‍යන්තර සම්මානයක් හිමිවීම මගින් මනාව පැහැදිලි වේ. එමෙන්ම මෙය රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැක.

සෙලාන් බැංකුව පිළිබඳව 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply