අඩු-ආදායම්ලාභී වකුගඩු රෝගීන්ට නොමිලේ රුධිර කාන්දුපෙරණ පහසුකම් සලසන හේමාස් හොස්පිට්ල්ස් ‘උපකාර’ ව්‍යාපෘතියට වසරක් සපිරේ

Share with your friend

හේමාස් හොස්පිට්ල්ස් ක්‍රියාවට නංවා ඇති සුවිශේෂී සමාජ සත්කාරයක් වන ‘උපකාර’ ව්‍යාපෘතියේ ප්‍රථම වර්ෂ පූර්ණය පසුගියදා සනිටුහන් විය. අතිශය දරුණු රෝග තත්ත්වයක් වන නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු-ආදායම්ලාභීන්ට නොමිලේ රුධිර කාන්දුපෙරණ පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මෙරට වකුගඩු රෝගීන් රැසකට ඉමහත් අස්වැසිල්ලක් වූ මෙම ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදුකර ඇති රුධිර කාන්දුපෙරණ වාර සංඛ්‍යාව 118 කි.

නිදන්ගත වකුගඩු රෝගය යනු කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම ය. වකුගඩු අකර්මණ්‍ය වූ විට, ශරීරයේ එක්රැස් වන විෂ ද්‍රව්‍ය සහ දියර ඉවත් කිරීම සඳහා නිතිපතා රුධිර කාන්දුපෙරණය සිදුකළ යුතු වේ. මෙම රෝගය නිසා අධි-රුධිර පීඩනය, රක්තහීනතාව සහ අස්ථි රෝග වැනි බරපතළ අතුරු ප්‍රතිඵලද ඇති වන අතර, එමගින් රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද එල්ල වන පීඩනය සුළුපටු නැත.

මෙම පීඩනය අවම කිරීමේ අරමුණින්,  විශේෂයෙන්ම අඩු-ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගෙන හේමාස් හොස්පිට්ල්ස් විසින් ‘උපකාර’ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. රුධිර-කාන්දුපෙරණ ප්‍රතිකර්ම යනු දීර්ඝකාලීනව සිදුකළ යුතු, වියදම් අධික ප්‍රතිකර්මයක් වන අතර, එම වියදම් දැරීම අපහසු රෝගීන්ට අත්වැලක් වීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. හැකි උපරිම රෝගීන් සංඛ්‍යාවකට මෙම සහනය ලබාදීම සඳහා හේමාස් හොස්පිට්ල්ස් විසින් පසුගිය වසර තුළදී සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් වෙන්කරන ලදි. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම ප්‍රතිකර්මය නිතිපතා සිදුකිරීම සඳහා වැය වන වියදම් දැරිය නොහැකි විශාල පිරිසකට මෙම ව්‍යාපෘතිය දැනටමත් සුවිශාල සහනයක් වී තිබේ.

LMD මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ රෝහල් සන්නාමය වශයෙන් නම්කරන ලද හේමාස් හොස්පිට්ල්ස් රටේ ප්‍රජාවන්ට අත්වැලක් වීමට සහ ඔවුන් නඟාසිටුවීමට කැප වී සිටී.

මෙම කැපවීම ඔස්සේ ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින්, වකුගඩු රෝගීන් වැඩි පිරිසකට රුධිර-කාන්දුපෙරණ සේවාවන් ලබාගැනීමට අත්වැලක් වීම හේමාස් හොස්පිට්ල්ස්හි බලාපොරොත්තුව වී ඇත. හේමාස් හොස්පිට්ල්ස් ‘උපකාර’ මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රතිඵල දෙස බලන විට එය අතිශයින් සාර්ථක ව්‍යාපෘතියක් බව පැහැදිලි වේ.

රෝගීන් කේන්ද්‍ර කරගත් වෘත්තීය මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සැපයීමට හේමාස් හොස්පිට්ල්ස් තුළ ඇති කැපවීම මෙන්ම, සහකම්පනය සහ සමාජ සේවය සම්බන්ධයෙන් එය සතු මූලික වටිනාකම් ‘උපකාර’ ව්‍යාපෘතියේ සාර්ථකත්වය තුළින් මැනැවින් නිරූපණය වේ.


Share with your friend