කලා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය පිළිඹිබු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ, එහි 32වන ප්‍රදර්ශනය 2025, පෙබරවාරි 16, ඉරිදා දින, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්) දී පැවැත්වීමට නියමිතය. විවිධත්වයෙන් හා නිර්මාණශීලීබවින් පරිපූර්ණ අද්විතීය කලාත්මක නිර්මාණයන්ගෙන් යුත් මෙම වසරේ කලා පොළ, දේශීය දෘෂ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමේ වසර තිහකට වැඩි මෙහෙවර විදහා දක්වමින් මින් පෙර නොතිබූ ආකර්ෂණයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කරයි.
1993 වසරේ දී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව හඳුන්වා දුන් කලා පොළ, 1994 වසරේ සිට මේ දක්වා ජෝන් කීල්ස් සමූහයේ අඛණ්ඩ අනුග්‍රහය හා සම ඉදිරිපත් කිරීම සමඟින් කොළඹ කලා දින දර්ශනයේ සහභාගී විය යුතුම ප්‍රදර්ශනයක් ලෙසට වැඩි දියුණු වී තිබේ. මෙම ප්‍රදර්ශනය ඔස්සේ සෑම ක්ෂේත්රයකම විහිදී සිටින චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, ආලේඛ්‍ය ශිල්පීන් සහ කාටූන් ශිල්පීන් ඇතුළු විවිධ අංශයන්ට අයත් කලා ශිල්පීන් හට සත්කාරකත්වය ලබා දෙයි. එසේම ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම, කලාවට ලැදියාව දක්වන්නන් සමඟ සම්බන්ධ වීම හා අනෙක් කලාකරුවන්ගෙන් ඉගෙන ගැනීම යනාදිය සඳහා අවස්ථාව ලබා දෙමින් ඔවුනොවුන්ගේ කලා ජාලය පුළුල් කිරීමේ අනගි අවස්ථාවක් මින් ලබා දෙයි.


ජෝර්ජ් කීට් පදනමේ සභාපති, මාලක තල්වත්ත මහතා, කලා පොළ ප්‍රදර්ශනයේ වැදගත්කම අරුත් ගන්වමින්, “අපේ කලාකරුවන්ගේ ජීවිත වෙනස් කිරීමට අවස්ථාවන් ලබා දෙමින් ශ්‍රී ලාංකේය කලාව ඔප් නංවන්නට සහය දෙන කලා පොළ දශක තුනකට වැඩි කාලයක් පුරා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. මිනිසුන් නගා සිටුවීමට, දිරිමත් කිරීමට සහ ඔවුන්ව එකට එක් කිරීමට කලාවේ ඇති හැකියාවට මෙය සාක්ෂි දරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී කාමලින් ජයසූරිය මහත්මිය, “කලා පොළ, ශ්‍රී ලාංකික කුසලතා, ශ්‍රී ලාංකික සංස්කෘතිය හා ජන සමාජය සමරනු ලබන කලා ප්‍රදර්ශනයක් වන අතර එය හුදෙක් කලා ප්‍රදර්ශනයක් නොවේ. මෙරට නිර්මාණාත්මක ආර්ථිකය නගා සිටුවීමට දේශීය කලාකරුවන්ට ඇති පුළුල් හැකියාවත්, සමාජ සෞඛ්‍ය හා ජනතාවගේ එකමුතුබව ඉහළ නැංවීම සඳහා විචාරශීලී සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා සමස්ත කලාවේ හා සංස්කෘතියේ කාර්යභාරයත් හඳුනා ගනිමින් දේශීය කලාකරුවන් සවිබල ගැන්වීම සඳහා අපගේ කැපවීම නැවත අවධාරණය කරමින්, 32වන වරටත් මෙම අවස්ථාව හා සම්බන්ධ වීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා” යනුවෙන් අදහස් දැක්වීය.

මෙම ප්‍රදර්ශනය සංගීතය, සුහදත්වය, කලා සාකච්ඡා සහ සංස්කෘතික හුවමාරුවෙන් වර්ණ ගැන්වෙමින් විචිත්‍රවත්, සුහදශීලීත්වයෙන් පොහොසත් වාතාවරණයක් නිර්මාණය කරන්නේ මෙරට නිර්මාණ ශිල්පීන්, සිසුන් හා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් ආකර්ෂණය කර ගනිමිනි
ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතික ප්‍රදර්ශන අතරින් ප්රමුඛස්ථානයක් දරන කලා පොළ තුළින් ප්‍රවීණ සහ නැගී එන සියලුම කලාකරුවන්ට භේදයකින් තොරව සිය නිර්මාණ අලෙවි කිරීමේ අවස්ථාව ලබා දෙයි.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී පිළිබඳව
සමාජ සෞඛ්‍යය හා සහජීවනය යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධාන අංශයක් වන අතර කලාව සහ සංස්කෘතිය ඒ යටතට අයත් වේ. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150කට වැඩි ඉතිහාසයක් පවතින JKH ආයතනය සේවක සේවිකාවන් 15,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 19 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිද සමාජභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.
ජෝර්ජ් කීට් පදනම පිළිබඳව
1988 දී ජෝර්ජ් කීට්ගේ මිතුරන් පිරිසක් විසින් පිහිටුවන ලද ජෝර්ජ් කීට් පදනම (GKF) ශ්‍රී ලංකාවේ කලාව සහ කලාකරුවන්ගේ සංවර්ධනය සඳහා අවස්ථාවන් ලබා දීම තුළින් කලාව ප්‍රවර්ධනය කිරීම උදෙසා පිහිටවනු ලැබීය. එහි ආරම්භයේ සිටම, GKF වසර 35 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කලාව ප්‍රවර්ධනය කිරීමේ ගමනේ ප්‍රධාන ක්‍රියාකරුවෙකු විය.
වැඩි විස්තර සඳහා www.kalapola.lk වෙත පිවිසෙන්න.