ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් හි අධ්‍යක්ෂ මණ්ඩලයට මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පත් කෙරේ 

Share with your friend

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී [Prime Lands Residencies PLC (PLR)] සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පත් කර ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. 2025 සැප්තැම්බර් 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. 

මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී 

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගම මේ වන විට ජාත්‍යන්තර තලයේ ආයතනික පාලනයක් සහ ක්‍රමෝපායික වර්ධනයක් සමගින් දිනෙන් දින දියුණුව කරා ගමන් කරමින් සිටී. මෙම පත් කිරීම එම ගමන්මග තවදුරටත් ශක්තිමත් කරනු ඇත. 

මහාචාර්ය ආනන්ද ජයවර්ධන යනු ආයතනික පාලනය, ක්‍රමෝපාය, අවදානම් කළමනාකරණය, තාක්‍ෂණ කළමනාකරණය, ව්‍යාපෘති කළමනාකරණය, පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන මූලධර්ම සහ මානව සම්පත් සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දීර්ඝ පළපුරුද්දක් ඇති ප්‍රවීණ විද්වතෙකු මෙන්ම වෘත්තිකයෙකි. ඒ මහතා සතු මෙම දැනුම හා පළපුරුද්ද, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස්  සමාගමේ ඉදිරි ගමනට බෙහෙවින් වැදගත් වනු ඇත. 

මේ වන විට මහාචාර්ය ආනන්ද ජයවර්ධන මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත්, HNB Assurance සමාගමේ සහ Mother Lanka පදනමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආයතනික පාලන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරයි. 

වෙනස් වන වෙළඳපොළ තත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, තිරසාරත්වය හා නවෝත්පාදනය ඔස්සේ ශ්‍රී ලංකාවේ තරගකාරී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දිගින් දිගටම සාර්ථක වීම සඳහා මහාචාර්ය ආනන්ද ජයවර්ධනගේ මගපෙන්වීම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගමට මහෝපකාරී වනු නිසැකය.

කලක් කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ  මහාචාර්ය ආනන්ද ජයවර්ධන එම බැංකුවේ ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේද කිහිපයක් තුළ එයට සාර්ථක ලෙස නායකත්වය ලබාදුන්නේය. 

මෙම තනතුරුවලට අමතරව ඒ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් යන තනතුරු දරා ඇති අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තවත් සමාගම් හා ආයතන ගණනාවක පාලක මණ්ඩලවල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.

වරලත් ඉංජිනේරුවෙකු මෙන්ම ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරුවෙකු වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය යන ආයතනවල සාමාජිකත්වය දරයි. එමෙන්ම ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (Sri Lanka Association for Advancement of Science) සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගේ සංගමය යන ආයතනවල සාමාජිකත්වයද ඔහු සතුය. NDB බැංකුව හරහා මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා කලක් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිත්වයද දැරීය. 

මොරටුව විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව ඉංජිනේරු විද්‍යාවේදී (සිවිල්) උපාධියක් (1983) ලබා ඇති මහාචාර්ය ජයවර්ධන, එක්සත් රාජධානියේ Loughborough University of Technology වෙතින් ඉදිකිරීම් පිළිබඳ පශ්චාත් උපාධියක් (1986) සහ එම විශ්ව විද්‍යාලයෙන්ම ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් (1990) ලබා ඇත.

ප්‍රයිම් සමූහ ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයකි. විශ්වාසය හා විශිෂ්ටත්වය මත පදනම් වූ වසර 30 ක උරුමයක් හිමි එම සමූහයේ සහධිපත්‍ය දේපළ (Condominium) සමාගම වන්නේ ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගමයි. මේ වන විට කොළඹ හා තදාසන්න ප්‍රද්ශවල ව්‍යාපෘති 45 කට අධික සංඛ්‍යාවක් සාර්ථක ලෙස අවසන් කර ඇති එම සමාගම, තවත් ව්‍යාපෘති 5 කට අධික සංඛ්‍යාවක ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටින අතර, මෑතකදී තවත් ව්‍යාපෘති 2 ක් අලුතින් ආරම්භ කළේය. ඉදිරියටත් පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගනිමින් දිගින් දිගටම දියුණුව කරා ගමන් කිරීම සමාගමේ අරමුණ වී තිබේ.


Share with your friend