ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ තවත් පෙරළිකාරී ඉදිරි පියවරක් තබමින් යූනියන් ඇෂුවරන්ස් සමාගම, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හඳුන්වා දී ඇති ඩිජිටල් බැංකුකරණ සේවාවක් වන FriMi සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. යූනියන් ඇෂුවරන්ස් Clicklife ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සවිබල ගැන්වීමේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි.
මෙම සුවිශේෂී හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලාංකිකයන්ට FriMi app තුළින් ඉතා සුළු කාලයක් තුළ Clicklife රක්ෂණ විසඳුම් මිලදී ගත හැකි වේ. Clicklife යනු 100% ක්ම කඩදාසි භාවිතයෙන් තොර පෙරළිකාරී හඳුන්වා දීමක් වන අතර, එය මෙරට රක්ෂණ මිලදී ගැනීමට ඇති පහසුම හා ලාභදායීම ක්‍රමය ලෙස හැඳින්විය හැක. එය ගනුදෙනුකරුවන්ට දිනකට රු. 23 සිට ඉහළට, රු. මිලියන 4 ක් දක්වා වටිනාකමකින් යුත් රක්ෂණ ආවරණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙයි.
යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ද්‍යා කුරේ මහත්මිය කියා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරන ඩිජිටල් හවුල්කාරීත්වයක් වනු ඇති බවයි. යූනියන් ඇෂුවරන්ස් සමාගම කවදත් සිය ගනුදෙනුකරුවන්ගේ යහපත උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, මෙම නව වැඩපිළිවෙළ ඔස්සේ ඩිජිටල් තාක්ෂණය තුළින් ඔවුන්ට නවතම අත්දැකීමක් තිළිණ කිරීමට සමාගමට හැකියාව ලැබෙන බවත් ඇය කියා සිටියා ය.
“මෙමගින් විවිධ කාණ්ඩ වලට අයත් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් රක්ෂණ මිලදී ගැනීමට හැකියාව ලැබෙන නිසා මෙය ශ්‍රී ලංකාව තුළ රක්ෂණ ප්‍රචලිත කිරීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි කියා අප සිතනවා. මෙය අපගේ ඩිජිටල්කරණ ක්‍රියාවලියේ නවතම සන්ධිස්ථානය ලෙස හැඳින්වීමට පුළුවන්. ඉදිරියටත් නවීන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම තලයේ ඩිජිටල් අත්දැකීම් පෙළක් තිළිණ කිරීම අපගේ බලාපොරොත්තුවයි.” වින්ද්‍යා කුරේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.
යූනියන් ඇෂුවරන්ස් සමාගම කලක පටන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග ක්‍රමෝපායික බැංකු රක්ෂණ සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර, FriMi සමග ඇතිකරගත් මෙම නව හවුල්කාරීත්වය තුළින් එම සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් වනු ඇත.
“ගනුදෙනුකරුවන්ගේ යහපත උදෙසා ඩිජිටල් නවෝත්පාදන භාවිතා කිරීම සම්බන්ධයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේත් යූනියන් ඇෂුවරන්ස් සමාගමේත් දැක්ම එක සමානයි. මෙම හවුල්කාරීත්වය ආයතන දෙකේම ව්‍යාපාර කටයුතු වර්ධනය කරන පියවරක් වේවි. එමෙන්ම එය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් රැගෙන එමින්, රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවට සැකයක් නැහැ.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ සහ පවරාගැනීම්) රන්දිල් බොතේජු මහතා පැවසී ය.
මෙම නව වැඩපිළිවෙළ, මෙම දුෂ්කර හා අභියෝගකාරී කාලසීමාව තුළ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත. විශේෂයෙන්ම එදිනෙදා කටයුතු වලදී ප්‍රායෝගික ගැටලු රාශියක් පැනනැගී ඇති මෙවන් අවධියක මෙම වැඩපිළිවෙළ ඔස්සේ, බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට සේවාවන් ලබාදීම සම්බන්ධයෙන් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයට පුරෝගාමී ආදර්ශයක් ලබාදීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට අවස්ථාව ලැබේ. එමෙන්ම එය මේ මොහොතේ කාලීන අවශ්‍යතාවක් වන, ඩිජිටල් තාක්ෂණය පාරිභෝගික යහපත වෙනුවෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී ඉදිරි පියවරක්ද වනු ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.